Tuesday, April 13, 2021

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...



දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා...

  • 1-     දැන් කොහොමද බං අර වැඩේ...
  • 2-     ඒක කෙල වුනා බං... දැන් වෙන වැඩක් පටන් අරන් තියෙන්නේ...
  • 1-     අඩෝ නෑ... බොක්කෙන්...
  • 2-     ඔව් බං... ඒකටත් කෙල වුනොත් තමා වැඩේ...

ඔය එක විදියක්... තව ඕක කෙල්ලන්ටත් භාවිතා වෙනවා...

  • 1.     කෝ බං උබේ කෑල්ල?
  • 2.     ඒකට කෙල වුනා බං...

ඕක ඕනෙම විදියකට පාවිච්චි කරන්න පුලුවන්... කියෝන ඔයාලටත් ඕනේ කරන තැනක් තියෙනව නන් දාගන්න...

වැදගත්ම දේ තමයි, ඕක තනියම එන පදයක් නෙවෙයි... ඕක එන්නේ පැකේජ් එකක් විදියට... ඒ කියන්නේ ඕකත් එක්ක තව පදයක් හෝ කීපයක් එනවා... ඒ එකක් තමයි “නෝන්ඩිය”...

මොකක් හරි එකකට කෙලවුනාට පස්සේ තමා අපේ කට්ටියගේ නෝන්ඩිය කියන එක බලාගන්න පුලුවන්... හරි යනකන් මූනක් නොබලන වුන් එනවා කෙල වුනාට පස්සේ දුක අහන්න... උබලත් ඉතින් මැට්ටෝ වගේ උන් එක්කලා දුක කියනවා... උන් එන්නේ බොලාලගේ රෙද්දේ දුකක් අහන්න නෙවෙයි බං... උන් එන්නේ උබලට කෙල වුනාට පස්සේ උබලා විදින දුක බලලා “ආතල්” එකක් ගන්න... ඒක තමා පැකේජ් එකේ 3 වෙනි පදය...

කෙලවීම කියන එක අපට මෙච්චර ලඟ ඇයි... ඒකට හේතු කීපයක් තියෙනවා... පොඩි කාලේ ඉදන් අපේ මේ සමාජය කරන්නේ අපිට ඕනවට වඩා ‘වේට්’ එකක් දීලා ඉස්සරහට යන්න තල්ලු කරන එක... ඒක පටන් ගන්නේ 1 වසරේ අච්චු පොත් ටිකෙන්... පොඩි එකාගේ බර කිලෝ 20ක් කියමුකෝ... ඌට දෙනවා දවසකට ඉස්කෝලෙට ගෙනියන්න කිලෝ 60ක විතර “වැලි ලෝඩ්” එකක් වගේ “පොත් ලෝඩ්” එකක්... ඌ ඒ ටික ඉස්කෝලේ ගෙනිච්චේ නැත්නන් මිස්ලා සර්ලා ඌව මරන් කන්න හදන නිසා ගෙන් කරත්තේ අදින ගොනා වගේ ඌ අර ටික බෑග් එකේ දාන් හතරට පහට නැමිලා ඉස්කෝලේ ගාටනවා... ඉවර වුනාම ගෙදර උස්සන් ගාටනවා...

ඔය සිස්ටම් එකෙන් පොඩ්ඩක් එලියට එන්නේ කැම්පස් ආවම... මට නන් කැම්පස් එකේ පොත් ටිකක් තිබ්බත් මගේ හොදම යාලුවෝ කොල්ලෝ ගොඩකට අහවල් විෂයට අහවල් පොත කියලා කියන්න පොතක් තිබුනේ නෑ... උන් කලේ අපේ නෝට් එක පොටෝ කොපියක් ගහන් පාඩන් කරගන්න එක... එහෙමයි කියලා උන් පාස් වුනේ නැද්ද... අනේ පාස් වුනා... උන් මටත් වඩා උඩින් ලකුනු දාලා පාස් වුනා... මම ඔය කිව්වේ ‘පිසිකල්’ පැත්ත... ‘මෙන්ටලි’ පැත්තත් ඔහොමම තමයි... මට හොදටම මතක එක දෙයක් කියන්නන්... අපේ ලොකු අයියා මෙහෙන් ඩිග්‍රිය කරලා වෙන රටකට ගියා ඒකේ ඉතුරු කෑල්ල කරන්න... එයා කියනවා එයාලා ඒලෙවල් වලට කරපුවා එහේ ඩිග්‍රියට එතනින් ගියාම මාස්ටර්ස් වලට පවා උගන්නනවා කියලා... දැන් කියයි උසස් අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගත්තුවා වැඩිදුර ඉගෙන ගන්න එකයි.. අරකයි මේකයි කියලා... මෙහෙමයි එහෙම වෙන්න පුලුවන් එහෙමයි කියලා මාස්ටර්ස් වලට ඉගෙන ගන්න මනුස්සයට උගන්නන ඒවා ඊට වඩා පට්ටම අඩු වයසක් තියෙන ඒලෙවල් ඕලෙවල් උන්ට උගන්නනවා නන් මට අනූව නන් ලංකාවේ අධ්‍යාපනය පට්ටම ෆේල්... එහෙනන් උන්ට ඒලෙවල් නැතුව කෙලින්ම ඩිග්‍රිය දීලා මාස්ටර්ස් දෙන්න තිබ්බනේ... අහවල් තැන කැහිල්ලටද ඒලෙවල් මේකක් අස්සේ ඔබාගෙන නටන්නේ...

ඔන්න කෙලවීම ආරම්භ වුන තැන... ඉතින් මෙහෙම උගන්නන කොට ඒක අල්ලන් ඒකත් එක්කම ඉස්සරහට යන්න පුලුවන් එකා යනවා.. යන්න බැරි වුන එකා කොතන හරි අතෑරුන තැනින් හැරෙනවා.. යන එකා හරි... අතෑරුන එකාට මොකද වෙන්නේ... අන්න ඌට කෙල වෙනවා... කෙලවීමත් එක්ක නෝන්ඩිය එනවා... දැන් තමා නෑයෝ සනුහරේ කරලියට එන්නේ... ඕලෙවල් ඇන ගත්තා කියමුකෝ.. ආහ් නෑ... සිස්සත්වේට යන්... මොකෝ වෙන්නේ ඔන්න පාස් වෙන මාර්ක් එක 125 කියමුකෝ... ඔන්න දැන් 120යි අරන් තියෙන්නේ... ෆේල් නේ... දැන් මොකද වෙන්නේ...

  • අනේ ෆේල් නේද?
  • අපරාදේ ලකුනු 5ක් නේ අඩු වෙලා තියෙන්නේ...
  • තව ටිකක් වැඩ කරන්න තිබ්බා... නට නට හිටියනේ... නටපු වෙලාවේ වැඩක් කලා නන් පාස් වෙනව නේ...
  • දැන් වෙන ඉස්කෝලෙකට යන්න බෑ නේද?

(සිස්සත්වේ පාස් වුන සහෝදර සහෝදරියෝ හිටියොත් අන්න වුන්ට තමා සුපිරියටම කෙල වෙන්නේ)

  • අක්කා/ අයියා නන් පාස් නේද?
  • දැන් ඉතින් මල්ලී/ නංගී ෆේල් කියද්දී ලැජ්ජයිනේ... වැඩ කරන්න එපැයි එහෙම අහන්නේ නැති වෙන්න...
  • ඔය කාලෙ අක්කා/ අයියා නන් වැඩ කලා හොදටම... දැන් ඉතින් ඔයාට එයාලගේ ඉස්කෝලෙට යන්න වෙන්නේ නෑ...

ඉතින් හරිනේ... බඩුනේ... ඔය ටිකෙන් ඔක්කොම ඕනේ නෑ... එකක් අහගත්තා නන් ඇති... ආතල්ම වැඩේ කියන්නේ අපි විතරක් නෙවේ, ඕවා අම්මලා තාත්තලගේ කනට යවලා තව ආතල් දෙනවනේ...

  • ඔයාගේ පුතාට ලකුණු පහක් අඩු වෙලාලු නේද? අපේ එක්කෙනා නන් අරගෙන... එයාට හොද ඉස්කෝලයක් හම්බෙලා...

ඔන්න දැන් අම්මලා තාත්තලත් ෆෝර්ම් වෙනවා...

ඔය එකම එක ‘සිනාරියෝ’ එකක් විතරයි... ඕක ඕනෙම එකකට ගලප ගන්න... ඕලෙවල් අඩු ලකුනු ගත්තත්, ඒලෙවල් අඩු ලකුනු ගත්තත් ඔච්චරයි...

දැන් ඔතනින් කැම්පස් යන්න පාස් වුනා කියමුකෝ... එතකොට කියන්නේ...

  • ආහ් පාස් ද? අපි නන් හිතුවේ නෑ පාස් වෙයි කියලා...

ඒලෙවල් වලින් පස්සේ කැම්පස්...

  • අපෝ සෙකන්ඩ් ක්ලාස් එකක්ද? අපේ පුතාට නන් ෆර්ස්ට් ක්ලාස් එකක්...
  • තාම ජොබ් එකක් නැද්ද? අපේ පුතා නන් අහවල් කම්පැණි එකේ වැඩ කරන්නේ... අහවල් ගානට පඩි නේ... හෙට අනිද්දා රට යන්නත් ඇවිත්...
  • බදින්නැද්ද? දැන් වයසත් හරිනේ.. අපේ පුතා නන් ගිය අවුරුද්දේ බැන්දේ... ඒවා වෙලාවට කෙරෙන්න එපැයි...
  • ළමයි නැද්ද? දැන් නන් එක ළමයෙක් හරි ඉන්නෝනේ... අපේ පුතාට නන් පැටියෙක් ඉන්නවා... අනේ සූකිරි පැංචෙක්...

ආයෙම යංකෝ මුලට... ඔයාලා දන්නවද ඒ ඔයාලා ඔය නෝන්ඩිය දැම්ම ළමයා කොච්චර විභාගෙට මහන්සි වුනාද කියලා? ඔයාලා දන්නවද ඌ කොච්චර පාඩම් කලාද කියලා? එතනින් ආවම ඔයාලා දන්නවද ඌ ඇයි බැන්දේ නැත්තේ කියලා? ඔයා දන්නවද ඌට ඇයි ළමයි නැත්තේ කියලා? මොකක්ද ප්‍රශ්නේ කියලා දන්නවද? ඔයාලා දන්නවද ඌට ගෙදර මොන ප්‍රශ්ණ තිබ්බද කියලා? ඔයාලා දන්නවද ඌ මොන මානසික මට්ටමක හිටියද කියලා? ඉන්නවද කියලා? ඔයාලා දන්නවද උගේ හිතේ ප්‍රශ්ණ කොච්චර තිබ්බද කියලා?

නෑ... ඔයාලා ඕවාගෙන් එකක් දැනගන්න පුලුවන්.. දෙකක් දැනගන්න පුලුවන්... හැබැයි ඔයාලා ඔය ඔක්කොම දන්නේ නෑ.. ඔයාලා මොක්ද කරන්නේ... දන්නේ නැති කෙහෙල්මලක් දන්නවා කියලා හිතාගෙන අර ළමයගේ මුලු ජීවිතේම ඔය වචන ටිකෙන් අරගෙන පොළේ ගහනවා... මොකද වෙන්නේ අර ළමයට... ඒ ළමයා එතන ඉදන් හිතන්න පටන් ගන්නේ “යකෝ මම ෆේල් වුනොත් මට කෙල වෙනවා... ඒ නිසා ෆේල් වෙන්න හොද නෑ...” කියන කිසිම වැඩකට නැති ගොන්ම ගොන් අයිඩියා එක ඔලුවට යනවා... මොකද වෙන්නේ ඌ ඊට පස්සේ ෆේල් වෙන්න බයයි.. ඇයි... ඌ බයයි නෝන්ඩියට... ඌ බයයි උගේ ෆේල් එකෙන් මිනිස්සු ආතල් ගන්න එකට... එතනින් කවදාවත් සාර්ථක මනුස්සයෙක් එලියට එනවද?

මම හිතන්නේ නෑ...

කෙනෙක් ෆේල් වෙන්නේ ඌට ඕනේ නිසාද? නෑ.. ඒ වෙලාවේ උගේ තියෙන මොකක් හරි එකකට තමා ඌට එහෙම වෙන්නේ... ඔයාට මොකටද ඒක? ඔයා කවුද තව මිනිහෙක්ගේ ජීවිතයක් ජජ් කරන්න... ඔයාට එහෙම කරන්න කිසිම අයිතියක් නෑ...

මිනිහෙක්ගේ වයසට හරියනවට වඩා මහා විසාල බරක් උගේ පිට උඩ තියලා ලොකු කඹේකින් බැඳලා, තව දන්වැළකුත් දාලා ගැට ගහලා, ඒ දන්වැලට ඉබ්බෙකුත් දාලා උබලා කියනවා දැන් පලයන් ඉක්මනට මේකයි තැන කියලා... අර බර කොච්චර වුනත් ඌට බෑ ඒක ගලවන්න... ඌට ඒ බර වැඩි නන් ඒක වට්ටන්න බෑ... ඌ වැටුනොත් අර බර එක්කම වැටෙන්න වෙනවා... ෆේල් වෙන එකෙන් සක්සස් එකකට යන්න... පරාජයෙන් දිනුමකට යන්න ඌට තේරෙන්නේ නෑ... මොකද අතනදී ඌ වැටුනම වටේ ඉන්නවුන් කරන්නේ “උබට පුලුවන් නැගිටපන් කොල්ලෝ... කෙල්ලේ... උබ ඇදපන් අපි ඉන්නවා උබ එක්ක...” කියලා කියන එක නෙවේ... උන් කරන්නේ “නෙදකින් මෙහෙම එකෙක්... මේකවත් ඇදගන්න බෑ...” කියන එක... ඒක නිසා ඌ එදා ඉදලම හිතන්නේ කෙලවුනොත් එතනින් එහාට ගමනක් නෑ කියලා... අධෛර්‍යමත් වෙන එක අපට පොඩි කාලේ ඉදලම වටේ උන් කියාදෙන නිසා...

ඇත්තටම මිනිස්සු බය කෙලවෙන එකටත් වඩා නෝන්ඩියට... මොකද හැම මනුස්සයෙක්ම බලන් ඉන්නේ අනික් එකාට කෙල වෙනකන්... හැබැයි නෝන්ඩිය කියන එක, එක එක විදියට වෙන්න පුලුවන්... ගෙඩක් වෙලාවට ඕක, පිරිමින්ගේ තියෙන මහන්තත්ත කමට ගෑනු පහත් කියලා නෝන්ඩි කරන තැන දකින්න තියෙනවා... ඕකම අනිත් පැත්තටත් වෙන්න පුලුවන්... දෙයක් කරගන්න බෑ කියලා නෝන්ඩි කරන්න පුලුවන්... මොකක් හරි දෙයකට උත්තරයක් වැරදියට දුන්නොත් ඒකට නෝන්ඩි කරන්න පුලුවන්... සරලවම මම මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් bully කරනවා කියන දේ ගැන...වචනේ අර්ථය වෙන එකක් වෙන්න පුලුවන්... ඒත් මම මෙතන කතා කරන්නේ ඒ අර්ථය අරගෙන...

ඔතන ඔය කියන වගේ පිරිමි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා... ඒ වගේ ඈයන්ට පිරිමි මොනා නොකළත් උන්ට වඩා කෙනෙක් නෑ... ගෑනු මොනා කළත් උන් කරන දේවල අගයකුත් නෑ... ගෑනුන්ව සලකන්නේ වැඩ සේරම කරගෙන ඉන්න ඕනේ අය ගානට... සේරම අතට පයට කෙරෙන්න ඕනේ... අවස්ථාවක් හම්බුනාම අනිත් අය සේරම ඉස්සරහා ඒ ගෑනුන්ගේ තියෙන අභිමානය සේරම නැති කරලා දානවා... ඒක ගන්නේ මහා ලොකු හපන්කමක් කරපු ගානට... ඒක බැනුමකින් වෙන්න පුලුවන්, නැත්නන් විහිලුවකින් වෙන්න පුලුවන්... ගෑනුන්ට ඇත්තටම ඒ වෙලාවට කරගන්න දෙයක් නැතුව අසරණ වෙනවා... (මම මෙතන ගෑනු කියලා ගත්තේ පැහැදිලි කීරීම පහසු වෙන්න... ඕක ඕනැම තැනකට ගලපන්න පුලුවන්...)

ඒ විතරක් නෙවේ... පිරිමි වැඩට ගිහින් ඇවිත් කියන්නේ හොදටම මහන්සියි කියලා... ගෑනු මනුස්සයා එහෙම කිව්වොත් මොකද කියන්නේ... “ඔයා දවසම ගෙදර ඉදලා මොන මහන්සියක්ද?”... එතකොට හිතන්න බෑ ඒ මනුස්සයට කෑම ටික මේසේ උඩට ආවේ කොහොමද කියලා... බඩගිනියි කියනකොට කන්න... රෙදි ටික හේදිලා වේලිලා අල්මාරියට ගියේ කොහොමද කියලා... පහුවදා වැඩට යන්න අදින්න... ගේ පිළිවෙළට තියෙන්නේ කොහොමද කියලා... වැඩ ඇරිලා ආවම පොඩ්ඩක් සිත සැනසෙන්න වාඩි වෙලා ඉන්න... ගෙදර වත්ත පිලිවෙලට තියෙන්නේ කොහොමද කියලා... මහන්සියට එලියට බැස්සම මල් දැක්කම හිත සැනසෙන්න... ළමයින්ගේ වැඩ එකක් වත් වැඩ ඇරිලා ආපු එයාට කරන්න නැති වුනේ කොහොමද කියලා... එකක් නෑර හොයලා බලලා කරලා තියෙන නිසා...

එහෙනන් ඇත්තටම මේ නෝන්ඩිය කියන එක වටිනවද මෙහෙම අයට කියන්න?

මනුස්සයෙක් ෆේල් වුනා කියන්නේ එතනින් ඒ මනුස්සයගේ මුලු ජීවිතේම කෙලවෙනවට නෙවෙයි. මනුස්සයෙක් ෆේල් වුනා කියන්නේ ඒ මනුස්සයා නෝන්ඩිවෙන්න සුදුස්සෙක් වෙන එක නෙවෙයි. මනුස්සයෙක් ෆේල් වෙනවා කියන්නේ ඒ මනුස්සයව ආතල් එකට ගන්න පුලුවන් කියන එක නෙවේ... මනුස්සයෙක් ෆේල් වුනාම ඒ මනුස්සයා වැටෙනවා... ඒ මනුස්සයට රිදෙනවා... කවුරුත් කැමති නෑ නෝන්ඩි වෙන්න... කවුරුත් කැමති නෑ ආතල් එකක් වෙන්න... හැමෝම කැමති තමන්ගේ අභිමානය තියාගෙන ජීවත් වෙන්න... ඒකට හේතුව හැම කෙනෙක්ටම එයාගෙම කියලා අභිමානයක්, සතුටක්, ජීවිතයක්, අරමුණක්, අභිප්‍රායක් හා බලාපොරොත්තුවක් මහමෙරක් උසට තියෙන නිසා... කෙනෙක්ව නෝන්ඩි කරන්න කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා, හිතන්න ඒක ඔයාට වුනා නන්, එතන එයා නැතුව ඔයා හිටියා නන්, එයාට වුනදේට ඔයා මුහුණ දුන්නා නන්... කැමතිද එයාගෙන් නෝන්ඩි වෙන්න?

ජීවිතේ කියන්නේ අපි අනිත් හැමෝම එක්ක බෙදාගෙන ජීවත් වෙන්න ඕනේ දෙයක්... ඒකට ඔය මැද්දට “මහන්තත්තකම”, “ලොකුකම” ආවම අනිත් මනුස්සයාට “කෙලවුනාම” ජීවිතේ බෙදාගන්න අමතක වෙනවා... එතකොට තමයි ඔය කෙලවීමේ පැකේජ් එකත් එක්ක එන “නෝන්ඩියයි” “ආතල්” එකයි එළිබහින්නේ... මනුස්සයෙක්ට කෙලවුනාම ඔක්කොටම කලින් උගේ සයිඩ් එකෙන් ඒක දිහා බලන්න තේරුම්ගන්න... ඌ ඉන්න තත්ත්වය තේරුම් ගන්න... ඌට උඩට යන්න උදව් කරන්න... අර කතාවක් තියෙන්නේ ‘කළ හොද තමයි පස්සෙන් එන්නේ’ කියලා... මිනිස්සු අතරේ මනුස්සයෙක් වෙන්න...

අන්න එදාට අපේ පොඩි එවුන් තේරුම් ගනියි 

ෆේල් වෙන වුන් තමා ජීවිතෙන් පාස් වෙන්නේ කියලා...

ජය වේවා!

 



උස්සනවනන් නම එක්කම උස්සපන්...

(නම නැතුව උස්සන එකයි රෙදි නැතුව පාරේ යන එකයි සමානයි කියනවා...)

-අභි_සරා

Tuesday, May 5, 2020

ත්‍රිල් එක...

චෝදනා එකක් දෙකක් ආවා නන් සත්තයි තව සතියක් දෙකක් යනකන් මොකුත් ලියන්න හිතන්නේ නෑ.... තර්ජන කිහිපයක් ආව නිසායි.. ඉල්ලීම් කිහිපයකුත් ආව නිසා මේ දවස් වල ලව් සික් එක මටත් ගහලා තියෙන නිසා කියවන උබලත්, ලියන මමත් පොදුවේ කැමති මාතෘකාවක් ගැන පද ටිකක් ගැට ගහන්න හිතුනා...



“ආදරේ...” කිව්ව ගමන් අමුතු ෆීලින් එකක් එනවා නේ... හැමෝම කැමති එකක් නේ... ඔය මාතෘකාවට ඇත්තටම කැමති නෑ කියන ඈයොන්ගේ කැමැත්ත බලන්න තිබ්බා එක්කෙනෙක් පස්සෙන් එනවා කියලා දැන ගත්තනන්... විස්වාස කරපං ඔය මාතෘකාව මටත් කාලයක් යනකන් එච්චර අල්ලන එකක් වෙලා තිබ්බේ නෑ... ඒ මම ඔය පොතට පතට ඇළුණු පොත් ගුල්ලෙක් වගේ පාඩම් කරපු නිසා නෙවේ... සෙන්ස් එකක් තියෙන කොල්ලෙක් මගෙන් අහන්නේ නෑ කියලා දැන ගෙන හිටපු නිසා... හැබැයි වැඩි කාලයක් ඔය ස්ටෑන්ඩර්ඩ් එක එහෙම්මම තියාගන්න ටිකක් අමාරු වුනා...

හැබැයි තාමත් මම ආදර කතා කියවන්න කැමති නෑ... රොමෑන්ටික් මූවීස් වලටත් ඒ තරම් කැමැත්තක් නෑ... හැබැයි ඒ ආදරේට තියෙන අකමැත්තක් නෙවේ... ඔය මගුල් වල අන්තිමට වෙන්නේ එක්කෝ කොල්ලා මැරෙනවා... නැත්නන් කෙල්ල මැරෙනවා... නැත්නන් දෙන්නගෙන් එක්කෙනෙක් වෙන එකෙක් බදිනවා... එක්කෝ එකෙක්ට පිස්සු හැදෙයි... අම්මෝ ඒවායේ තියෙන ජාති... උදාහරණෙකට අරන් බලපන් දැන් “සනම් තේරී කසම්”... කොච්චර ඕවා බලන්නෑ කියලා ලොකු ටෝක් දුන්නත් මමත් ඕක බැලුවා ඉතින්... නිකන් නෙවේ හොටු පෙර පෙර අඩ අඩා බැළුවේ...(හරි ආඩම්බරයි ඈ...) අන්තිමට මොකද වෙන්නේ අච්චර හැන්ඩ්සම් සල්ලි තියෙන කොල්ලටවත් අර ලස්සන කෙල්ලව බැදලා ගෙදෙට්ට ගේන්න ඩිරෙක්ටර් කාරයා ඉඩ දෙනවද?... නෑ නේ... නෑනේ...

තව එකක් ඒ කාලේ අමු පිස්සුවක් උන “තුම් හී හෝ” සින්දුව තිබ්බ “ආශිකී 2” බලන්නකෝ... අර යකාට බොන්න සල්ලිත් දෙන කෙල්ලව දාලා ගහින් සුවිසයිඩ් කර ගන්නවා... ඇත්තමයි ඔය මගුල බැලුවේ ලැප් එකේ... ලැප් එක පොලවේ ගැහුවේ නැති ටික විතරයි... ගැහුවේ නැත්තේ එක, ඔය ෆිල්ම් එක හදපු එකා මට ලැපක් අරන් දෙන්නේ නෑ... අනික අපේ තාත්තා කඩන කඩන ගානේ ලැප් අරන් දෙන්න බිල්ගේට්ස් නෙවේ... ඒ නිසා ගැහුවේ නෑ... මොනවා උනත් අපරාදේ බැලුවේ කියලා හිතුනා...

ඇත්තටම මිනිස්සුන්ට ආදරේ ඕනද?

පොඩ්ඩක් හිතලා බලන්නකෝ.... ඕනද? නැතුව ඉන්න බැයිද? පොඩ්ඩක් මෙහෙම බලන්නකෝ... ඔයාම හිතලා බලන්න ඔයාට ආදරේ කරන අය කිසිම කෙනෙක් ඔයාට ආදරේ නෑ කියලා... උදාහරණේකට ගන්නකෝ ගෙදර ඉන්න අය... අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලී බාප්පා පුංචි... මං දන්නෑ... හත්මුතු පරම්පරාවම ඉන්නවනන් එයාලයි... බැරිම උනොත් බල්ලවයි පූසවයි හරි අරන් බලන්නකෝ... ඔය එක්කෙනෙක් වත් ඔයාලට ආදරේ නැත්නන් ඔයාලට ගෙදර ඉන්න පුලුවන් වෙයිද? ආදරේ නැත්නන් එයාලා එකිනෙකා කතා කරයි ද? හිනාවෙයිද? සෙල්ලමක් කරයි ද? විහිළු කරයිද? මොනවා හරි රස කෑමක් හැදුවම බෙදාගෙන කයිද? මේකේ වේදනාව හැමෝටම තේරෙනවා... ඒත් ගොඩක්ම දැනෙන්නේ කට්ටිය හුඟක් ගෙදර ඉන්න අයට... නිකමට හිතලා බලන්න...

ආදරේ කියන්නේ ඇත්තටම මට අනූව නන් ජීවිත එකට එකතු කරලා තියෙන බැදීමක්... හරියට ගෙයක් ශක්තිමත්ව ගොඩ නැගෙන්න ශක්තිමත් පාදමක් ඕනේ වගේ, පවුලක් ශක්තිමත්ව ගොඩ නැගෙන්න ආදරයක් ඕනේ... අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නකොට පවුල ඇතුලේ තියෙන බැදීම ශක්තිමත් වෙනවා... ඒ බැදීම දරුවන්ට හරි ලස්සනට බලපානවා... පවුල ඇතුලේ ආදරේ අඩු වෙන්න අඩු වෙන්න ඒ බැදීම දුර්වල වෙනවා...

මෙහෙම හිතන්නකෝ තාත්තා අම්මට “බබී” කියලා කියනව නන්... (පොඩි හිනාවක් ගියා නේ... කමක් නෑ කියෝගෙන යන්නකෝ...) එතන තියෙනවා මහ අමුතු ත්‍රිල් එකක්... විශේෂත්වය කියන්නේ ඒක ත්‍රිල් එක දැනෙන්නේ අම්මටවත් තාත්තටවත් නෙවේ... අහගෙන ඉන්න දරුවන්ට... ඒක කැත ත්‍රිල් එකක් නෙවේ... ඒ ත්‍රිල් එකෙන් ඒ ළමයින්ගේ හිතේ ඇදෙනවා “අනේ මෙහෙම ආදරයක් මටත්” කියලා වගේ බලාපොරොත්තුවක්... ඒක වෙනමම ආතල් එකක්...

පොටෝ එකකට අම්මයි තාත්තයි අත් දෙක අල්ලන් ඉන්නකොට හිතන්න සෙල්ෆියක් ගහන්න ගියාම ඕක දැක්කොත් බොරුවට දැම්ම හිනාව ඇත්තක් වෙලා හිනා වෙනවා... ඇයි? කලින් කිව්වා වගේ හිත ඇතුලෙන් එනවා අමුතු ත්‍රිල් එකක්... ඒකෙන් කියනවා “අපේ බැදීම ශක්තිමත්” වගේ දෙයක්...

මෙහෙමයි... මට හැම දේකටම පොර ටෝක් දෙන්න ඕනේ නෑ... ඇත්තටම මේ දේවල් ඉබේ වෙන දේවල් හැබැයි ඒ වෙලාවේ හිතට එන ඒ අමුතු ත්‍රිල් එක මම විදලා තියෙනවා... මම විදිනවා... සහ ඒක විදින්න මම ආසයි... ඇත්තම කිව්වොත් ඒක හරි අමුතු විදියක ආතල් එකක්...

මේ ආදරේ ඇත්තටම මෙතනින් එහාට; පවුලෙන් එහාට කතා කරන්න පුලුවන්... මෙහෙම ගන්නකෝ... නෑ... මම ප්‍රේමවන්තයෝ ගැන නෙවේ කතා කරන්න යන්නේ... කාලයක් ප්‍රේමවන්තයා... බූට් එක තිබ්බම ප්‍රේතවන්තයා වෙනවනේ... මම ඒකට අන්තිමට යන්නන්... ආදරේ කියන්නේ ඒ බැදීමම විතරක් නෙවේ...

මම හොද උදාහරණයක් දෙන්නන්... මම දැන් අවුරුදු දෙකකට විතර කලින් (මතක විදියට) නුවර කොළඹ බස් කොන්දොස්තර කෙනෙක් මට ඇත්තටම හරියටම ගාන කියලා මාරු දුන්න දා ඒ මනුස්සයට වචනෙන් ස්තූති කරලා මදි නිසා මේ වගේ ලියමනක් (මේ වගේ හෑල්ලක් නොවන බව කරුණාවෙන් සලකන්න) එෆ්. බී දැම්මා... කොහොම හරි ඕක දැකලා අපේ අම්මගෙන් අහලා තිබ්බා “මොකෝ දුව අර කොන්දොස්තරලට ලව් කරන්න යන්නේ” කියලා... ඒ කාලේයි කියලා ලැජ්ජා බය කියන එක තිබ්බේ නැතුවට සෝශල් මීඩියා වලට තිබ්බ සහ තියෙන අසීමාන්තික බිය නිසා ඒක මට විතරක් පේන විදියට ප්‍රයිවසි වෙනස් කලා අර දෙබසින් ඇති වුන ලැජ්ජාව නිසා... මම මේක කිව්වේ ඇයි කියලා බලනවා නේ තව සිද්ධියක් කියන්නන් ඒකෙන් තේරෙයි මොකක්ද උනේ කියලා... අද උදේ... මේ කර්ෆිව් අස්සේ ගෙදර බොන්න වතුර ගෙන්න ගන්න ලොරිය ආවම අපේ අම්මා ගියා බෝතල් දෙක අරන්... අම්මා ඒ කොල්ලට “පුතා ඔය බෝතල් දෙක ඇතුලෙන්ම තියන්නකෝ” කිව්වා... ඒ බෝතල් දෙක බරයි තමා ඒ දෙබස කිව්ව විදියට එතන මං හිටියත් බෝතල් දෙක කරේ තියන් ගිහින් හරි කිව්ව තැනෙන් තියනවා...

අපේ තාත්තා කියන දෙයක් තමයි මනුස්සයෙක් වැඩක් කරනව නන් ඌට ආදරෙන් කතා කරලා වැඩේ කරව ගන්න ඕනේ කියන එක... තව විදියකට කියනවනන් මනුස්සයට වැදලා හරි වැඩේ කරව ගන්න ඕනේ... ඔය කතාව තාත්තා කිව්වේ පොල් කඩන මාමා කෙනෙක් හොයාගන්න ඕනේ කියලා කිව්ව වෙලාවක... “ඒ මනුස්සයට වැදලා හරි වැඩේ කරවගන්න එපැයි... නැතුව ඒ මනුස්සයට පාට් දාල මං ගස් යන්නද?” සහතික ඇත්තනේ කතාව... හිතලා බලාන්කෝ අර කොල්ලට අම්මා “අතනින් තියනවා ඕක”... කිව්වා නන් පොර ඇත්තටම ඒ වැඩේ කරයි... හැබැයි අර හිත ඇතුළෙන් එන ත්‍රිල් එක තියෙයිද? ඕක එක්ක ඒ මනුස්සයගේ හිතට එන අදහස් කෝටියක් තියෙන්න පුලුවන්... සමහර විට හිතන්නැතුව කියලා ඒ මනුස්සයගේ දවසම අපේ වචනෙන් මුස්පේන්තු වෙලා යන්න බැයිද? අපෝ පුලුවන්... ආදරෙන් කතා කරන එක වචනෙන් ඒ මනුස්සයට දවසම ගේම ගහන්න අමුතු කික් එකක් එනවා...

ඕක අපේ අම්මත් හරියට පාවිච්චි කරනවා... පෝන් එක එහෙම අර ඩොටේ කොහේ හරි තියලා ආපු වෙලාවක ගෙන්න ගන්න ඕනේ උනාම මම අම්මගේ “පැටියා, හොද පුතා”... මොකක් හරි ගොන් වැඩක් කලාම ඒකේ අනිත් පැත්ත... එතකොට මම “මෝඩි” (අවුලක්මත් නෑ... ඉන්දියාවේ අගමැතිනේ...) සමහර හොදටම කේන්ති ගිය වෙලාවට “ගොනී” කියලා එහෙමත් පාවිච්චි වෙනවා.. (ඒකෙත් හෙන ආතල් එකක් තියෙනවා) හැබැයි ඉතින් එක පාරක් ‘පැටියා’ කිව්වම නැගිට ගන්න බැරි වුනත් ගිහින් අර වැඩේ කරන්නැද්ද... කරනවනේ (ඒ අතින් අපිත් හෙනම ගොන් නේ... මොනා කරන්නද? අහුවෙනවනේ) මොකෝ ආයේ වැඩක් කරගන්න ඕනේ වෙනකන් අහගන්න කියලයැ...  

ඒ නිසා මනුස්සයෙක් තමන්ට වචනෙකින් හරි දෙයක් කලොත් ආදරෙන් කතා කරලා කට පුරා හිනා වෙලා “ස්තූති” කරන්න... ඇත්තටම ඒ මනුස්සයා එහෙමට උදව්වක් කරන්න නැතුව ඇති... හැබැයි ඒ මනුස්සයට එතන ඒ වචන ටිකෙන් හම්බ වෙන කික් එකෙන් මුලු දවසම, තවත් මනුස්සයෙක්ගේත් හිතක් සතුටු කරලා දවස ගැට ගහගන්න පුලුවන් වෙනව නේද... ඒ මනුස්සයා කෙනෙක්ගේ හිත සතුටු කලාම... එයා තව කෙනෙක්ගේ හිතක් සතුටු කරයි... අර “ජායි - හෝ” චිත්‍රපටියේ තියෙන කන්සෙප්ට් එක අපට ඇත්තටම කරන්න මේ “ආදරේ” කියන අකුරු තුනෙන් පුලුවන්... අපට මේ ජීවිතේ ජීවත් වෙන්න ඇත්තටම ලොරි ගනන් සල්ලිවත්, තට්ටු ගනන් මන්දිරවත්, කෝටි ගනන් මිනිස්සුවත් ඕනේ නෑ... ඇත්තටම අපිට ඕනේ මෙන්න මේ කියන ආදරේ... දැන් උබලා මගෙන් අහයි ‘උබේ ඔය ආදරේ මට කන්න, බොන්න දෙයිද කියලා’ උබට කන්න බොන්න දෙන්න මමවත් හම්බ කරන්න එපැයි... එහෙම නෙවෙයි ඇත්තටම හිතලා බලන්න ආදරෙන් ඕනේ කෙනෙක්ට කතා කලොත් කරන්න අමාරු වැඩක්වත් කරගන්න ලේසි වෙන්නේ නැද්ද කියලා...

මම කියන්නේ මිනිස්සුන්ව පාවිච්චි කරන එක නෙවෙයි... මිනිස්සුන්ට ආදරෙන් කතා කරන කොට එයාලට හිතෙනවා එයාලගේ ජීවිතේ වටිනවා කියලා... ආදරේ කියන්නේ ඇත්තටම ජීවිත එකට එකතු කරලා තියෙන බැදීමක් තමයි... හැබැයි අපට ඒක හරියටම තේරෙන්න නන් අපට සිද්ධ වෙනවා ඒක හරියට, හරි තැනට, හරි විදියට යොදවන්න... මිනිස්සු අතරේ මිනිහෙක් නොවී මනුස්සයෙක් වෙන්න ඔන්න ඔය කියන ආදරේ හරි විදියට පාවිච්චි කරන්න පුලුවන් නන් අපේ ජීවිත මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා...    

-අභි_සරා      

Monday, November 11, 2019

අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා...
මා ඔබගේ පුතූ...
උබ මතු බුදු වන දවසේ...
මා රාහුල කුමරුන් සේ...
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි...
සුලැගිල්ලේ එල්ලී...


        
අහලා පුරුදුද... නෑ වගේ නන් කමක් නෑ... මේ ටිකත් කියෝලම සිංදුව අහන්න.

අම්මා කියන්නේ අපට ජීවිතේ හරිම ලඟ, හරීම කිට්ටු, හරිම උණුහුම් වචනයක්... දරුවෙකුට ආදරේ, දයාව, කරුණාව, සෙනෙහස කියන්නේ මොකක්ද කියලා පෙන්වන ප්‍රතිමූර්තිය තමයි අම්මා කියලා කියන්නේ... අපි සාමාන්‍යයෙන් කතා කරන්න ආස මාතෘකා තියනවා ආදරේ කියන්නේ ඒ අතරින් අපි ආසම කරන මාතෘකාවක්... ඒ වගේම තමයි අම්මා කියන්නේ ලියන්න, කියන්න තියෙන ලස්සනම ලස්සන මාතෘකාවක්... ඒ වචනෙත් හරි හැඩයි... අපට කිට්ටුයි...

අපි ඉපදුනු දවසේ ඉදලා අපට මහ ගොඩක් දේවල් කියලා දෙන්නේ අපේ අම්මා... සරලවම උබට කිව්වොත් අපේ පළවෙනි ඉස්කෝලේ අම්මා... ඌරා වගේ හැමතැනම ගාගෙන කනකොට තමාගේ කෑම එක පැත්තකින් තියලා ඔක්කොම පිහලා “ඔහොම කන්නෙපා... මෙහෙම කන්න...” කියලා හරියට කන්න උගන්වනවා... කොල්ලෙක්ට නන් කියනවා අඩුයි “හරියට ඉදගන්න” කියලා... කෙල්ලෝ නන් අම්මාගෙන් මේ කතාව සෑහෙන්න අහගෙන ඇති... කොහේ හරි ගිහින් තැන අමතක වෙලා කකුල් උඩට ගත්තම අනික් මිනිස්සුන්ට නොපෙනෙන්න රවලා බලලා, කේන්තියෙන් දත්මිටි කාගෙන “කකුල් දෙක දාගන්නවා පහලට” කියලා හොරෙන් කියනවා... අපිත් ක්ෂණිකව දාගන්නවා... එතන ඉදන් උබ ජීවිතේ අද කොතැනකම හරි තැනක ලස්සනට ජීවත් වෙනවා නන් උබ මුලින්ම කරන්න ඕනේ උබගේ අම්මට වදින එක... මොකද උබ අද ඔතන ඔහොම ඉන්නේ ඒ මනුස්සයා උබව ඔය විදියට හදපු නිසා...

අපි ජීවිතේ අනන්තවත් වැටෙනවා... කොච්චර වැටෙනවද කිව්වොත් සමහර වෙලාවට අපට අපේ ජීවිතේ එපා වෙන තරමට අපි වැටෙන අවස්ථා නැතුව නොවේ... එතකොට අම්මා කියලා කියන්නේ උබට පිටිපස්සෙන් ඉන්න මහ විසාල හෙවනැල්ලක්... උබට හිරුගේ එලියෙන්වත් කරදරයක් වෙන්නේ නැති වෙන්න ඔයාලගේ වටේ ඉදන් ඔයාලව රකින මහවිසාල ජීවයක් ඒක... උබ වැටෙන වාරයක් ගානේ උබව උස්සලා තියන, උබට වැටෙන්නේ නැතිව ඒ ගමන යන්න පාර හදා දෙන... ඒ හදපු පාරේ ඉන්න සත්තුන්ගෙන් බේරිලා ජීවිතේ ගෙනියන්න ඕනේ විදිය උබට උගන්වන බුද්ධිගෝචර ගුරුවරයෙක් ඔය...

මට අම්මා කියන්නේ මගේ ජීවිතේ කියාගන්න බැරි තරම් මහා විසාල චරිතයක්... වලි යන අවස්ථාද නැතුවම නොවේ... හැබැයි අම්මා ආයේ මොකුත් කියන්න කලින් ගිහින් හතරවටේට ඉඹලා කරලා යාළු කර ගන්නේ අම්මා තරහයි කියන වචනෙටවත් ආස නැති නිසා...

හොදට හිතලා ගන්න ගොන් තීරණයක්, සභාව මැද්දේ කිව්වම දරුවගේ මැටිකම අනික් වුන්ට පේන්නේ නැති වෙන්න කතාව වහලා පස්සේ අපට ටොක්කක් ඇනලා කිව්ව කතාවේ ගොන් කම තේරුම් කරනවා... අසනීප වෙලා “පාන්” කියාගන්න බැරුව ඉන්නකොට මහ පාන්දර තනිපංගලමේ ඕනේ දුරක් දරුවා වෙනුවෙන් එනවා... “අම්මේ කන්න බැරිවුනා...” කියලා දවස් දෙකක් කිව්වම ඊළඟ සතියේ ගෙදර ගිහින් එනකොට බර කරත්ත අදින් ගොන්නු දෙතුන් දෙනෙක්ට උස්සන් එන්න පුලුවන් විදියේ කෑම පුරෝපු බෑග් එකක් ගෙදරින් එලියට බහින්න හදන කොට දෝත් මුදුන් දීලා පිටේ එල්ලනවා... “අරන් ගිහින් කාපන්” කියලා වචනෙන් නොකියා... ඉතින් අරක අරන් වචනෙන් නොකී බර හරකා වෙලා පාරට යන්න හදනකොට තවත් මොනවා හරිත් ගෙනැල්ලා අර බෑග් එකේ ඇගිල්ල ගහන්න තිබ්බ අන්තිම හිලටත් ඔබනවා...

අම්මා කියන කෙනාගේ උගත්කම කියන එක සතපහකට වැඩකට ඇති දෙයක් නෙවේ... මම එහෙම කිව්වේ, උබට කවදාවත් කොහොම ඉගෙන ගත්තත් උබේ අම්මගේ බුද්ධියට ලං වෙන්න බෑ... දන්නවද ඇයි කියලා... මොකද උබ ඩිග්‍රි ගහයි, හැබැයි උබ හොදට හිතලා විය හැකියාව නොහැකියාව එක්ක දන්න ගණන් මේ ලෝකේ පෙරලලා හදලා දෙයක් මෙහෙම කලොත් හරි කියලා; අම්මා එපා කියපු දෙයක් කලොත්, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පුතේ... උබ ඔය කෙලෝ ගන්නයි යන්නේ... උබලම හිතලා බලපං නැද්ද කියලා... උබලටත් ඕම හිසේ කෙස් ගානට වෙලා ඇති...

මම මගේ අම්මට ගොඩක්ම ගරු කරන්න ප්‍රධානම හේතුව තමයි අනිත් අම්මලා එක්ක රැල්ලට නොගිහින් මාව හදපු එක... කොල්ලෝ එක්ක හැදෙන කෙල්ලගේ කොලු කම වැඩියි කියලා ඔයාලා අහලා ඇති... අපරාදේ කියන්න බෑ අයියලා ගැන ඉස්කෝලෙන් බැනුම් අහනවට වඩා එලෝකෝටියක බැනුම් අපේ අම්මා අපේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා ඇති... අයියලා ගැන දවස ගානේ හැම සර් කෙනෙක්ම හොද කියන කොට, මම ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මා මගෙන් අහන්නේ “අද ඉස්කෝලේ මොකද කලේ...” කියලා... ඒ අහන්නේ මම ඉගෙන ගත්තු දේවල් කියලා මම හිතුවට ඒක අහපු විදිය එක්ක මට පස්සේ තමා තේරුනේ අහන්නේ ඉගෙන ගත්තුවට වඩා අනික් කරපු ජඩ වැඩ ගැන කියලා... ඇත්තනේ අම්මා මූණ දෙන්න එපැයි ආයේ ඉස්කෝලෙට... 

අම්මා කියන්නේ අපට ජීවිතේ හරි ගොඩක් දේවල් කියලා දෙන කෙනෙක්... සමහර වෙලාවට කරන වැඩ එක්ක අපි ගැන සත පහක විස්වාසයක් තියන්න බැරිකොට ඒක කරන්න පුළුවන් කියලා අම්මා තියන විස්වාසයම ඇති අපට ඒ දේ කරන්න... කාගේ ආශිර්වාදය නැති වුනත් අම්මාගේ ආශිර්වාදය එක්ක අපට පනින්න බැරි පිම්මක් නෑ කියන එක මගේ අදහසයි...

ඇත්තටම මට මේක මෙහෙම ලියන්න හිතුනේ, අම්මා අසනීප වුනොත් හරි කොහේ හරි ගියොත් හරි මුළු ගේම පාලු මූසල තැනක් වෙන්න මහ වෙලාවක් යන්නේ නැති නිසා... සමහර වෙලාවට ඔක්කොම බලාගන්න එක, එක පාරම වගකීම වුනොත් අපි වගේ යක්ෂ පැටව් එක්ක අම්මා කොහොම හිටියද කියලා හිතෙනවා... ඒත් ඒ යක්ෂ පැටව් එක්ක හරිම ලස්සනට ගලාගෙන යන්න ජීවත් වෙන්න ආස හිතෙන කතාවක් නිර්මාණය කරන්නේ අම්මා...

අපි කේක් එකක් නිකන් තියනවට වඩා ඒක ලස්සන කරලා පාට පාට වලින් හැඩ කරලා තියනවනන් ආසයි... අම්මා කියන්නේ ඒ වගේ අපේ මෙලෝ රහක් නැති ජීවිතේ පාට කරන ලස්සන ජීවිතයක්...

උබ තාම අම්මට කතා කලේ නැත්නන් ගනින් කෝල් එකක්... කතා කරහන්... පිස්සෙක් වගේ ඔහේ කියෝ කියෝ හිටහන්... උබටම තේරෙයි “අම්මා” උබේ ජීවිතේ උබට ජීවත් වෙන්නෙ කොච්චර ආසා කරවනවද කියලා... අම්මගේ ආදරේ කියන්නේ අන්න ඒක...

ඇත්තම කියන්න මට අම්මා ගැන ලියන්න තව ගොඩක් දේවල් තියනවා... ඒත් මම මේක මෙතනින් නවත්තනවා.. හේතුව එකක් තමයි, මගේ අමු හෑලි උබලා කොහොමත් කියවන්න ආස නෑ.. (ඇරත් දැනටත් හෙනම දිගයි බඩවැල වගේ)... අනික සමහර අම්මා ගැන තියන හැඟීම් වචන කරන්න මටත් වචන නෑ... අම්මා කියන්නේ, අම්මගේ ගුණ කියන්නේ මට එක පෝස්ට් එකකින් ලීයලා ඉවර කරන්න පුලුවන් දෙයක් වත්, උබලට විනාඩි කීපයකින් කියවලා ඉවර කරන්න පුලුවන් දෙයක්වත් නෙවේ... ඒ නිසා හොදට මතක තියා ගනින් අම්මා කියන චරිතෙට උබ කොච්චර සැලකුවත් මදි...



Friday, October 25, 2019

ෂුවර් ද?

“විශ්වාසය”... අහලා පුරුදුද? අමුතුද? මට නන් එහෙමයි... ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙන්නත්... ජීවිත වලට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කෙල වෙන්නත් මේ වචනේ හේතු වෙනවා... තේරුනේ නැද්ද? හරි එහෙනන්, මෙහෙම හිතන්නකෝ වැරදි මනුස්සයෙක් විශ්වාස කලොත්... දැන් තේරුනාද? එකම එක විස්වාසයයි... හැබැයි එතකොට වෙන්න ඕන ඔක්කොම වෙන්න පුලුවන්...



පවුල කියන සංකල්පය අපිට අලුත් දෙයක් නෙවේ... ඒක අපිට උපන්න දා ඉදන් හරිම සමීපයි... විශ්වාසය අස්සට පවුලක් ගලප ගත්තේ ඇයි කියලා හිතුවද? මෙහෙමයි... පවුලක් කියන්නේ ප්‍රධාන ස්තම්භ කිහිපයක් උඩ නිර්මාණය වුන දෙයක්... ඒ එක කුළුනක් හරි බිදුනොත් පවුල කියන සංකල්පයට නැගී හිදින්න බැරි වෙනවා...

ඒ අතරට එන පළවෙනි එක තමයි “ආදරේ” නැත්නන් LOVE කියන්නේ, දෙක “විශ්වාසය” නැත්නන් TRUST, තුන “අවංකභාවය” නැත්නන් FAITHFULNESS, අන්තිම එක “සමාවදීම” නැත්නන් FORGIVENESS...

මම මේක මනෝවිද්‍යාව පැත්තෙන්වත් දර්ශණවාදය පැත්තෙන්වත් විග්‍රහ කරන්න ගියේ නෑ... හේතුව මම ඒ පැත්ත ගැන දන්නේ නෑ... හැබැයි මම මේ 4 මත පවුලක් රැදවිලා තියෙන බව හොදටම දන්නවා...

අපි දේකට ආදරේ නැත්නන් ඒ දෙය විස්වාස කරන්න කලින් සිය දහස් වතාවක් හිතනවා... හොයලා බලනවා... ඒ වගේම අපි ඒ දේට ආදරෙයි නන් ඒක විස්වාස කරන්න එක තප්පරයක් වත් හිතන්නේ නෑ...
විස්වාස කරන්නේ නැත්නන් ඒ කෙනා එක්ක අවංක වෙන්න කලින් සිය දහස් ගුණයක් හිතනවා... හිතේ තියන දේ කියනවද? කියන්න ඕනේද? කිව්වොත් මේක වැරදි පැත්තට යයිද? මේවා එතකොට එන ඉතාම සුළු ප්‍රශ්ණ...

මම දකින ආකාරයට “සමාව දීම” කියන්නේ පවුලක කොදුනාරටිය. මිනිස්සු වැරදි කරනවා... ඒවට සමාව දෙන්න ඕන... ඒකනේ කතාවක් තියෙන්නේ "වැරදි කිරීම මනුස්ස ගතියක්... සමාව දීම දේව ගතියක්" කියලා... මේකට සමාන දෙයක් ඉංග්‍රීසියෙන් මෙහෙම තියනවා... 

"Everyone deserves a second chance but not for the same mistake" මේකෙ අග කෑල්ල අයින් කලොත් ඇත්තටම හැම කෙනෙක්ටම දෙවනි අවස්ථාවක් හිමි විය යුතුයි... හැබැයි හැමවෙලේම ඒක ලැබෙන්නේ නෑ... පවුල ඇතුලෙන් වෙනස් වෙන්නේ අන්න එතනින්... ඒක අපට අපේ වැරදි හදාගන්නකන් අපට අවස්ථා දෙනවා... ඒක එක පාරක් නෙවේ... දෙපාරක් නෙවේ... හැට පාරක් වුනත් අපට ඒ අවස්ථාව දෙනවා... ඇයි ඒ? ඒ මිනිස්සුන්ට ඔලුවේ අමාරුවද?

නෑ... අන්න එතන තියනවා විස්වාසය... ඒ විස්වාසය පදනම් වෙන්නේ ‘ඌ අපේ එකා’ කියන ඇඟ ඇතුලෙන් දෙන මහ අමුතු හැඟීමෙන් "ඒ දෙය කිව්වොත් මෙයා ආයේ කරන එකක් නෑ..." "එයාට තේරෙයි..." "අපේ එකානේ... තේරුම් ගනීයි..." 

සමහර වෙලාවට අපට පලු යන්න බනිනවා... ගුටිත් කන්න වෙනවා... අපේ හිතේ එතකොට ඒක කරන්න නිතැතින්ම බයක් එනවා... හැබැයි... සමහර වෙලාවට කරන ලොකු වැරදි වලට ගෙදරින් වචනයක් කියන්නේ නෑ... වෙලාවකට අපේ තියෙන guilty ගතිය නැති කරගන්න බනින එක හොදයි කියලා හිතෙනවා... ඒත් අපි ගැන හිතලා එහෙම තීරණ පවුලෙන් අරගන්නවා... තේරෙන්න කිව්වොත්... තාත්තගේ වාහනේ දීලා අයියයි මමයි යනකොට ඒක හප්ප ගත්තොත් තාත්තා අපට මේ වෙනකන් බැනලා නෑ... වචනයක් දෙකක් කියයි... එතනින් එච්චරයි... වෙන මොකුත් කියන්නේ නෑ... “පාරේ පරිස්සමෙන් යන්න...” ඒක තමා කියන ලොකුම දේ... අම්මා තමා යටින් අපිට බයින්නේ... තාත්තට නෑහෙන ගානට අපට කරපු වැරැද්දට බනිනවා... හැබැයි එතනදී තාත්තා මොකුත් නොකිව්ව එක; අම්මා කොච්චර බැන්නත් හරි යන්නේ නෑ... හැබැයි අපි අර කල දේ එක්ක එන වරදකාරී බව තමා ඔක්කොටම හපන්... හුස්ම ගන්න බෑ... හිර වෙනවා වගේ... එතකොට ආයේ තාත්තා වාහනේ දෙන්නේ නැද්ද? විස්වාස කරපං... අපේ තාත්තා දෙනවා.. පරිස්සමෙන් ගිහින් එන්න කියලා ඔලුව අතගාලා කියන ගමන් දෙන්නේ... අන්න ඒක තමා විශ්වාසය කියන්නේ...

අපි අපේ පවුලට ගොඩක් ආදරෙයි... ඒ අතරින් අම්මා තාත්තා තමයි ඉස්සරහින්ම ඉන්නේ... ඔයාලා කිසිම අත්භූත දෙයක් විස්වාස කරන කෙනෙක් නොවුනත් (හරියට ඔය කේන්දරේ... දේව සංකල්ප වගේ ඒවා...) පවුලේ කෙනෙක්ට කරදරයක් වුනොත් ඔයාලා වදින්නේ නැති දෙයියෙක් නෑ... යන්නේ නැති පන්සලක් පල්ලියක් කෝවිලක් නෑ... මෙච්චර කල් විස්වාස නොකරපු, විස්වාස කරන්න හැට පාරක් හිතපු දෙයක් ක්ෂණිකයෙන් ඔයාලගේ ලොකුම විස්වාසය වෙනවා... ආදරේට ඒ වගේ දේවල් කරන්න පුලුවන්... ආදරේට පුලුවන් මහ ඉක්මනින් විශ්වාසයක් කෙනෙක්ගේ හදවතේ ඇති කරන්න...

ඒකයි මම කිව්වේ මේ විස්වාසය කියන්නේ හරි අමුතු සංකල්පයක්... සමහර වෙලාවට ඔය විස්වාසය නිසා මිනිස්සු නොකරන දෙයක් නෑ... ඇත්තටම ජීවිතේ කියන්නේ ආදරය මත පදනම් වුනු දෙයක් කියනවට වඩා ඒක විස්වාසය මත පදනම් වුනු දෙයක් කියලා කියනවනන් ඇත්තටම ඒක පිළිගන්න පුලුවන්... අපි දෙයක් කරන්නේ, අපි දෙයක් හිතන්නේ අපි විස්වාස කරන අය වෙනුවෙන්... අපි විස්වාසය තිබ්බ අය අපි වෙනුවෙන් දෙයක් කරන්නේ එයාලත් පෙරළා අපට ඒ විස්වාසයම ආයේ දෙන නිසා... විස්වාසයක් කියන්නේ මිනිහෙක්ගේ හිතේ හදන්න හරිම අමාරු දෙයක්... හැබැයි ඒ විස්වාසේ හැදුවොත් ඒක කඩන්න හරිම ලේසියි... ඒක නිසානේ අපේ පැරැන්ණෝ කියන්නේ "විස්වාසය කියන්නේ වීදුරුවක්" කියලා... කැඩුවොත් ආයේ හදන්න අමාරුයි... හැබැයි මම විස්වාස කරනවා විස්වාසය කියන්නේ කැඩුනොත් හදන්න "අමාරු" දෙයක් මිසක් "බැරි" දෙයක් නෙවේ... ඒ නිසා විස්වාසය බිද ගන්න කලින් ඒ කෙනාට "benefit of doubt" එහෙමත් නැතිනම් ඒ කෙනාට අර කිව්ව දෙවනි අවස්ථාවක් දීලා බලන්න... හැම කෙනෙක්ටම ඒක හිමි විය යුතුයි...


-        අභි_සරා

Sunday, September 8, 2019

බොලාට සිංහල තේරෙන්නැද්ද...



අපට අපේ ජීවිතේ විවිධාකාර ආශාවන් තියෙනවා... සමහර වෙලාවට අහවලා වගේ වෙන්න... සමහර වෙලාවට අහවලා වගේ කතා කරන්න... තවත් සමහර වෙලාවට අහවලා වගේ හම්බ කරන්න... මං දන්නෑ... එක එකාට අනූව ඒ අශාවන්, කැමැත්තවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා... මේ ඒ මේ ආශාවන් වලින් ටිකක්... එකෙක් ආසාකරන දේට තව එකෙක් ශාප කරන්න පුලුවන්... එකෙක් ලබාගන්න හීන මවන දේ තව කෙනෙක්ට වැඩකටම නැති දෙයක් වෙන්න පුලුවන්... ඒ වගේම තමා තව එකෙක්ගෙ හීනයක් තවත් එකෙක්ට පිස්සුවක් වෙන්න පුලුවන්... විහිලුවක් වෙන්න පුලුවන්... එහෙම තමා... ඒ එක එකාගේ කැමැත්ත... ආසාව... හැබැයි මේ හීන වලට එක එක පාට දීලා ඒක ලස්සන කරගන්න එක අපේ වැඩක්...



සමහර ආසාවල් තියෙනවා ඒවට යන්න අපට ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා... ගොඩක් ඉගෙන ගන්න වෙනවා... එක්කෝ ගොඩක් පුහුණුවෙන්න වෙනවා... එහෙම තමා... ඒක තමා ජීවිතේ... ඔක්කොම අතට දුන්නොත් ජීවිතේ බෝරිං වෙන නිසා අපට ජීවත් වෙන එක ආස කරන්න, අපට ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවිතේ අපට ලස්සන ආසාවල් ඇති කරනවා... ඊට පස්සේ අපි කොහොම හරි ඒ හීන පාට කරනවා...

මම සිංහල බෞද්ධ... මම ඒක කිව්වේ පොඩ්ඩක් උජාරුවෙන්.. මම මේ හීනයක් අස්සට අහවල් මගුලට සිංහල ගාවගත්තද කියලා බැලුවා නේහ්... හරි බං එල... කියෝගෙන පලයන්... උබට තේරෙයි... මේක කියෝන උබ සමහර විට බෞද්ධ වෙන්න ඇති... සමහර විට වෙන ආගමක වෙන්න ඇති... හැබැයි උබ සිංහල ජාතිකයෙක්... ඒ කියන්නේ උබගේ භාෂාව සිංහල... උබ කතා කරන්නේ සිංහල, උබ හැදෙන්නේ වැඩෙන්නේ සිංහල පරිසරයක... මට මේක කියහන්... උබට වටින්නේ සිංහලද, ඉංග්‍රීසිද? උබ සමහර විට මම අපේක්ෂා කරන උත්තරේ දෙයි... හැබැයි හිතට අවංකවම හදවතට අවංකවෙලා උබ උබෙන් අහපං... උබට වටින්නේ සිංහලද? ඉංග්‍රීසිද?

අපට ජීවිතේ ජීවත් වෙන්න භාෂාවක් ඕනේ... භාෂාවක් කියන්නේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන එක්තරා මාධ්‍යයක් පමණයි... ඒක දැනුම මනින මීටරයක් නෙවේ... එංගලන්තේ, ඇමරිකාව වගේ රටවල හැමෝම කතා කරන්නේ ඉංග්‍රීසි.. එහෙමයි කියලා එහේ බූරු වැඩ කරන මෝඩයො නැතුව නෙවේ නේ... මෙහෙත් ඉංග්‍රීසි දන්න හැබැයි හොදට හිතලා මෝඩ වැඩ කරන කිසිදෙයක් හරියට කරගන්න බැරි වුන් නැතුව නෙවේ නේ... ඕනෙම නන් බලහන් දේශපාලනේ... ඕනේ තරම් උදාහරණ තියෙයි... (ඔක්කොම නෙවේ... බහුතරය)

ඉංග්‍රීසි මනුස්සයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන එක ලෙසටම ලේසියි මේ අපේ ලංකාවේ ගොඩ සුද්දෝ එක්ක කතා කරනවට වඩා... මෙහෙම ගන්නකෝ ඉංග්‍රීසි මොකුත් බැරි මනුස්සයෙක් සුද්දෙක්ට තමා අදුන්වලා දෙනවා... "I....... Piyasoma..You?" දැන් grammer එක්ක හරියටම බැලුවෙත් මේක "I am Piyasoma, what is your name?" වගේ එකක් වෙන්න එපැයි... හැබැයි බොලාට මේක තේරුනා නේහ්? අවුලක් නෑනේ... දැන් ඔතන සුද්දෙක් හිටියනන්  බලන්නේ මූ මොනාද මේ කියන්නේ... ආහ් මූ මේකනේ කියන්නේ කියලා උත්තරේ දෙයි "I am James" වගේ එකක්... හැබැයි ඔතන සිංහල එකෙක් උන්නානන් මුලින්ම කරන්නේ අරූට හිනා වෙන එක... ඇයි ඌට ඉංග්‍රීසි බෑ නේ... එතකොට ඌ කරන්නේ අරූගේ එකේ වැරදිත් හදලා "යකෝ පුලුවන් සිංහලෙන් කියපං" කියලා තවත් කාටහරි කියලා විහිලුත් කරලා අර මනුස්සයට ඉන්න නැති කරන එක... ඉතින් ඒ යකා ආයේ මලාට ඉංග්‍රීසි කතා කරයි ද? නෑ...

අපි කැම්පස් ආපුම කාලේ අපටත් තිබ්බේ intensive course එකක් ඉංග්‍රීසි... අපේ උන්ට තිබ්බ ලොකුම අවුල ප්‍රසන්ට් කරන්න... නැත්නන් ඉදිරිපත් කරන්න බයයි... ඇයි? අනිත් වුන් හිනා වෙයි කියලා... මචං... ඉංග්‍රීසි කියන්නේ එක්තරා භාෂාවක් විතරයි... ඕක බැඳගෙන අදහන්න ආගමක් නෙවේ... ඉස්සර චීන්නුන්ට එක ඉංග්‍රීසි වචනයක් බෑ... එහෙමයි කියලා උන් ඔක්කොම අතෑරලා දාල ලෝකෙන් හැංගුනාද? නෑහ්... උන්, ඉංග්‍රීසි යන්තන් හරි පුලුවන් අපටත් වැඩිය ඉස්සරහට ගිහින්... ජනගහනය අඩු කරන්න චීන එක පවුලකට එක ළමයෙක් හදන්න තිබ්බ සීමාව දැන් ළමයි දෙන්නා වෙලා ඇයි? ජනගහනය අඩු වෙලාද? නෑහ් උන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙලා... හැබැයි සුද්දා තමාගේ අම්මා අප්පා කියලා හිතන් අම්මට අම්මා නැතුව මමී කියන තාත්තට කටක් ඇරලා තාත්තා, අප්පච්චි නැතුව ඩැඩී කියන කලු සුද්දට දැන් මක් වෙලාද?

අද අපේ සමාජයේ තියෙන සාමාන්‍ය මතය තමයි පොරක් වෙන්න නන් ඉංග්‍රීසි දැනගන්න ඕනේ... උබට මොනවා නැතත් ඉංග්‍රීසි දන්නවනන් අන්න බං... උබ මරු.. උබ තමා පොර... ඔක්කොටම කලින් උබලගේ ඔය ඔලුවල තියෙන මැටි ටික අයින් කරලා මොලෙන් හිතහන්... භාෂාවක් කියන්නේ උබලට තේරෙන්න කතා කරන්න ඕනේ කරන දෙයක් විතරයි... යකෝ උබලා දුක් වෙන්න ඕනේ උබලට ඉංග්‍රීසි බෑ කියන්න නෙවේ... උබලට සිංහල බෑ කියන්න... උබලා සිංහල රටක ඉපදිලා සිංහල ආචාරධර්ම පද්ධතියක් ඇතුලේ හැදිලා වැඩිලා පිනට ඉගෙනගෙන ඉංග්‍රීසි හොදයි කියනවනන්... උබලා හදපු වදපු මවට කොහොම සලකයිද! 

ඔය ඔක්කොම පැත්තකින් තියහන්... අම්මයි තාත්තයි මමී ඩැඩී concept එකේ ඉදන් දරුවව පොලවේ පය ගහලා ඉන්න විදියට හදන්න බෑ... මුලින්ම පොලවට බැහැලා පොලවේ පයගහලා ඒ විදියට ජීවත් වෙන්න... සිංහල සංස්කෘතිය කියන්නේ මහා වටිනා සංස්කෘතියක් බටහිර සංස්කෘතිය අපි බේරන්න යන්න ඕනේ නෑ... ඒවා බේරගන්න ඉන්න එවුන් පඳුරකට ගැහුවම 60, 70ක් දෙනා විසිවෙනවා... උබ උබගේ සංස්කෘතිය අගයපං... එතකොට ඒක බේර ගන්න ඕනේ කියන හැගීම නිකන්ම ඇගට එනවා... 

සිංහල කියන්නේ තව අවුරුදු 600 ඇතුළත නැතිවෙලා යන ජාතින් 24න් එකක් කියලා අද උදේ අපේ සර් කිව්වා.. සමාවෙන්න මට ඒකේ මූලය මතක නෑ... අවුරුදු 600ක් එපා බං.. අවුරුදු තව 60ක් වත් මේක තිබ්බොත් ලොකු දෙයක්... අසාද් සාලි වගේ උන්ට බැන බැන උන්නා කියලා ජාතිය බිහිවෙන්නේ නෑ... සේරටම කලින් තමාගේ ආගමට ජාතියට ආදරේ කරන්න ඉගෙන ගනින්...

අපට ඉංග්‍රීසි ඕනේ අපේ හීන හැබෑ කරගන්න විතරයි... අපට ඉංග්‍රීසි අපේ ලේ මස් ඇට නහර වලට ඔබ්බවන්න ඕන නෑ... ඒක නිකන් භාෂාවක්... අපට ලෝකේ ජයගන්න ඉංග්‍රීසි ඕනේ... අනිවාර්යයෙන්ම ඕනේ හැබැයි ඒක එතනින් ඉවර කරහන්... උබට ඕනේ වෙලාවට ඒක පාවිච්චි කරහන්... ඒකෙන් උබේ හීන වලට පාට දෙන්න... එතනින් එහාට ඉංග්‍රීසි ඇගට ආරෝපණය කරගෙන අඩි 10ක් උඩින් යන්න තියාගන්න එපා... උබ එක තැනකින් ඒක නිසා පොරක් වෙයි... හැබැයි මතක තියාගනින් තව තැනකදී උබව නැතිම කරලා දාන්නෙත් ඔය ඔලුව උඩ තියාගන්න පුහු ආටෝපයයි, පුහු මාන්නයයි... 

අනිවාර්යයෙන් හීනයක් කියන්නේ එසේ මෙසේ එකක් නෙවේ... ඒක උබට අහස අල්ලන්න තියෙන ආසාවක්... අන්න එතනට ගිහින් උබ පොළවට බැහැලා වටපිට බලපං... පාර අතුගාන අහිංසක අම්මගේ ඉදලා රටේ ලොකුම පුටුවේ ඉන්න එකා වෙනකන් උබට ගරු කරයි... හීන වලට පලයං... ඒත් ඊට කලින් මනුස්සයෙක් වෙයන්... අන්න එතකොට ජාතිය ආගම එක්ක මනුෂ්‍යත්වය තියෙද්දී උබට "පොරක්" වෙන්න පුලුවන්...

උබලා මොනා කිව්වත් වැඩිහිටියෝ දරන්නේ උඩ වගේ ගොඩේ අදහස් නන් මට උබට වෙන මොකුත් කියන්න නෑ... කියන්න තියෙන්නේ කොන්ඩෙයි රැවුලයි වවාගත් පමණින් කෙනෙක් රැඩිකල් නොවන්නාක් මෙන්ම ඉංග්‍රීසි ටිකක් දිව ගාගත් පමණින් කෙනෙක් "පොරක්" නොවන බව ඔබේ හයහතර නොදත් වැඩිහිටියාට කියාදෙන්න..

උබට සදා ජය...

- අභි_සරා

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...