Monday, September 2, 2019

අන්න එතනදි උබ ඔරිජිනල් ද?


කලින් කිව්වා වගේ මම ලියන ඒවා කියවන්නේ කීපදෙනයි.. ඒවට සාමාන්‍ය තරමින් ප්‍රතිචාර හම්බවෙනවා... නරක සහ හොද... දෙකම... ඒ කියවන්නන් අතරින් මට කෙනෙක් කිව්වා, ලියන එව්වා හෑලි ලූ... ඔක්කොම කියවන්නේ නැතුව අනිතිම ටික කියෙව්වම ඔක්කොම ගලප ගන්න පුලුවන් ලූ... එහෙම වෙන්න එපැයි... ඕනැම ලියමනක අන්තිමට කරන්නේ ලියපු ටික සාරංශ ගත කිරීමක්... එතකොට ඒක ඇතුලේ අන්තර්ගතය ගැන සාමාන්‍ය අදහසක් එනවා... මම නෑ කියන්නේ නෑ... හැබැයි ඒ වචන වලින් ගොඩනගන්න හදන කතාව... හරිම වචන වලින් කිව්වොත් ගොඩනගන “ෆැන්ටසිය”, “සිද්ධිය” උබලට විදින්න වෙන්නේ නෑ... ඒ නිසා මම මොකුත් නොකියා හිටියේ “හරි බං එල” කියලා කියන්න බැරිම තැන... නරක ප්‍රතිචාර වලට මම අනිවාර්‍යයෙන් ගරු කරනවා... හැබැයි මේ වචන ටික ආයේ ආයේ හිතන කොට මට මෙහෙමත් හිතුනා... ඔබ මගේ ලියමන ‘කියෝනවා’... මම නෑ කියන්නේ නෑ... හැබැයි ඔයා ඒක ‘විදිනව’ද? මේක දෙකක්ද?



මම හැමදාම කියනවා වගේ මම දාර්ශනිකයෙක් නෙවේ... ඒක නිසා ඕවායේ පදනමක් ගැන මම දන්නේ නෑ... හැබැයි කියෝන එකේ හා විදින එකේ වෙනස මම දන්නවා... අපට දෙයක් කියවන්න පුලුවන්... පොතක් අතට ගන්නේ කියවන්න... හැබැයි පොත කියෝන කෙනා වෙන වැඩක් මතක් වුනාම, නැත්නන් කවුරු හරි කතා කල විගස අවධානය බිද ගෙන ඒ වැඩේට යොමු වෙනවා... විඳින කෙනාගේ අවධානය බිදින එක ටිකක් අමාරු වැඩක්... ඔයාලා ඒක අස්සට බැහැලා... ඒකේ ජීවත් වෙනවා... අන්න එතකොට ඒක අපි විඳිනවා... කමල් ගුණරත්නයන් විසින් රචිත “කඩොල් ඇත්තු” කියෝන කොට ‘නාලක ජිනසේන’ කියන චරිතේ අපි වෙනවා... තාත්තා දවස ගානේ බනින එක, අම්මා ඇවිත් සනසවන එක, මල්ලිගේ කරෙන් අල්ලලා උස්සපු එක, සහෝදරියගේ ප්‍රශ්ණ, ආදරවන්තියගේ ප්‍රශ්ණ... මේ හැමදේම මොහොතකට අපිව ඒ ලෝකෙට අරන් ගිහින් අතරමං කරනවා... අපි නාලක වුනාම ගමේ එකාගේ කතාවලට නාලකට තරහ ගියාම ඇත්තටම අපිටත් කේන්ති යනවා... මල්ලි අයියට අලුගුත්තේරුකම් කරන හැම වෙලාවකම අයියා මගේ මල්ලිනේ කියලා ඉවසම හැම මොහොතකම අපට දුක හිතෙනවා... අවංකවම මගේ නන් ඇස් දෙකට කඳුලු ආවා... බේබදු කුමාරගේ කවි පොත කියෝන කොට ෆැන්ටසියෙන් එලියට ඇදලා අරන් පොළවේ ගහන පාරට ඇග හීතල වෙලා යන්නේ අන්න ඒ විදීම නිසා... අන්න ඒක තමා විඳිනවා කියන්නේ... ඒ විදීම අපිට අනිත් කෙනෙක්ගෙන් ගන්න බෑ... ඔයා ඒක විදින්න ඕනේ ඔයාට ඕන විදියට... සහ ඒක විඳින විදිය තීරණය කරන්න ඕනේ ඔයා...

මම ඔය ඔක්කොම සිද්ධි දාමය ගොනු කලේ ඇත්තටම අපේ මේ ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් තමාගේ අභිමතයට ඕනේ විදියට ජීවත් වෙන්නේ කීයෙන් කීදෙනාද කියලා කියන්න... ඇත්තටම පුද්ගලික කතාවකින් ලියන්න පටන් ගත්තොත්, මම මේ ලියන දේවල් වලට වඩා භාවිතා කරන භාෂාව පිළිබඳව සෑහෙන විවේචන මට එල්ල වෙලා තියෙනවා... “උබ, බං, බොලං” භාෂාව කැතයි... කෙල්ලෙක්ට උචිත නෑ... කෙල්ලෙක් උනාම කතාව වගේම ලියන කියන ඒවා පවා සංවර වෙන්න ඕනේ... කෙල්ලෙක් වුනාම ලැජ්ජා බයට හැදෙන්න ඕනේ... එක ප්‍රශ්ණයක් අහන්නද? හත්වලාමේ මම කෙල්ලෙක් වුනේ මට ඕනේ නිසාද? ඉපදෙනකොට Gender එක තෝරන්න තිබ්බා නන් උබලා පල්ලා මම තෝරන්නේ කොල්ලෙක් කියන එක... එහෙම නෑනේ... අපේ අම්මා මාව Download කලේ නෑ... උබලාගේ අම්මලා වගේ දුක් විදලා මාව වැදුවේ... මගේ තාත්තා දාඩිය මහන්සිය හෙලලා තමා මාව මේ තත්ත්වෙට ගෙනාවේ... හැබැයි එයාලා දෙන්නා මට දුන්නා ලොකු වරප්‍රසාදයක්... ඒ තමා නිදහස... දැන් කියයි අපිත් නිදහස්... අපට යන්න ඕනේ තැන අපි යනවා... කනවා බොනවා... ඕ වෙන්න ඇති... හැබැයි උබලා නිදහස් නෑ... උබලා යටින් වෙන කෙනෙක් වෙන්න දගලනවා... (දැන් රෙදි උස්සන් එන්න එපා... හැමෝටම අදාල නෑ...) මම කියන්නේ බොරු නන් අහලා බලපං... “අනේ මට ඒ වගේ වෙන්න ඇතනන්” “ඒයාට නන් හැමදේම තියෙනවා...” “මමත් එයා වගේ වෙන්න ඕනේ” ඔය දේවල් වලින් තමයි උබේ ඔය නිදහස නැතිවෙලා තියෙන්නේ... අල්ලපු ගෙදර එකා කාර් එකක් ගත්තොත් අපටත් එකක් ඕනේ... අල්ලපු ගෙදර එකා සෙරෙප්පු දෙකක් ගත්තොත් උබට ඒකත් ඕනේ... හොදම යාලුවා බැන්දොත් උබටත් බදින්න ඕනේ... ලැජ්ජ නැද්ද බං කාගෙවත් වහලෙක් වෙන්න...

කෙල්ලෝ කියන්නේ අහවල් විදියට ඉන්න කෙනෙක්, අහවල් අහවල් දේවල් කෙල්ලෝ කරන්නේ නෑ... සම්ප්‍රධාය බිදීමක් නෙවෙයි මම කියන්නේ... හැබැයි ඔය සම්ප්‍රධාය තුල ඉදන් අපට කිසිදෙයක් කරන්න බෑ... මම මේ ලියන දේවල් “සුදු, මැණික, ඔයා, ඔයාලට” වගේ මල් මල් වචන දාලා මට ලියන්න පුලුවන් බං... කිසි අවුලක් නෑ... හැබැයි උබලට ඒක තවත් සුජීව ප්‍රසන්න ආරච්චි, චන්දි කොඩිකාර ලියන නවකතාවකට වෙනසක් වෙන්නේ නෑ... එක. මට එහෙම ලියන්න ඕනේ නෑ... දෙක. ඔය බහුභූත ලවු ස්ටෝරි මට පේන්න බෑ... ඒක නිසා මම කෙල්ලෙකු වූ පමණින් මගේ භාෂාව වෙනස් කර මල් මල් කතන්දර ලිවීමේ අපේක්ෂාවක් මට නැත.

මට මගේ අම්මලා දුන්නා තනියම තීරණ ගන්න පුලුවන් නිදහසක්... මම කැමති විදියට ඉන්න, කතාකරන්න නිදහසක්... ඒ නිදහස හරි ආකාරයට පාවිච්චි කරන එක මගේ වැඩක්... ඒක මගෙ වගකීම... හැබැයි ඒ දේ නිසා මම අත පල්ලෙන් වැටුනු ජීවිතයක් වුනේ නෑ... කිසිදෙයක් නොතේරුම් කාලේ වෙන කෙනෙක් අපේ ලෝකේ “වීරයා” වෙලා ඉන්න එක සාධාරණයි... කිසි අවුලක් නෑ... මමත් රිතික් රෝෂන් වගේ වෙන්න හැදුවා කාලයක්... හැබැයි ඇත්තටම අපට තේරෙන්න ගත්තම... අපිට පුලුවන් වෙන්න ඕනේ අපේම කියලා පෞර්ෂයක් නිර්මාණය කරගන්න... කාඩ්බෝඩ් වීරයන්ව පැත්තකට දාලා අපේම වෙනස් වෙන්නේ නැති, හොලවන්න බැරි පෞර්ෂයක්... ඒක ඔයාගේ... ඒක වෙන කාටවත්ම ගන්න බෑ... ඒ පෞර්ෂය නිර්මාණය වෙන්න ඕනේ ගෙදරින්... ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය, අම්මා තාත්තා සහෝදරයෝ ඔයා ගැන තියලා තියෙන විශ්වාසය, දෙයක් කරන්න පුලුවන් කියලා තියෙන ආත්මාභිමානය මේ හැම දෙයක්ම ඔයාගේ පෞර්ෂය වෙනවා... උදේම නැගිටලා සිංදුවක් අහන ගමන්, ඒක උරුවමින් හෝ මුමුණමින් ඇගපත හෝදගෙන හොද ඇදුමකින් ලස්සනට එලියට යන්න... සිද්ධ වෙන දේවල් වලට ඔලුව කෙලින් තියාගෙන නොසැලී ඉන්න... දවස ඉවර වුනාම එදා වුන දේවල් එක්ක අවුල් ලෙහාගෙන පහුවදා වෙනස්ම මනුස්සයෙක් විදියට නැගිටින්න පෞර්ෂය හදාගන්න මේ හැමදේම එකක් නෑර හේතු වෙනවා...

මනුස්සයෙක් ජීවත් වෙන්නේ අවුරුදු හරියට ගත්තොත් 70ක් විතර... ඒකෙන් හරියට ජීවිතේ මොකක්ද කියලා තේරුම්ගන්නම අවුරුදු 20 විතර යනවා... තව ඉතුරු 50යි... මේ 50 අහුවෙන ජොබ් කට්ටක් කරන්, හැමදාම බොසාගෙන් බැනුම් අහ අහා අවුලෙන් ගෙවලා... 60දී විශ්‍රාම ගිහින්, මැරෙන එක ගැන කියෝ කියෝ ඉදලා මැරිලා ගියාම කෝ බොල අර අරක කැපය, මේක අකැපය කියපු සංස්කෘතිය? ඔය අටමගලෙන් කරපු දෙයක් නෑ... ගොඩක් අය රැල්ලෙන් පිටට යන්න බයයි... අරහෙම හිටපියව්... මෙහෙම හිටපියව්... අරහෙම කරපියව් මෙහෙම කරපියව් කිව්වම මෝල්ගස් ගිලපු පිඹුරා වගේ ඔහේ කරනන් වාලේ කරනවා... කැමති නැත්නන් අයින් වෙයන්... උබටම කියලා ජීවිතයක් තියෙද්දී අපි මොකටද අනිත් අයට ඕනේ විදියට ජීවත් වෙන්නේ... උන්ද අපට කන්න දෙන්නේ... උන්ද අපට අදින්න දෙන්නේ... නෑ... අපට කන්න අදින්න දීලා පෝෂණය කරපු, ලඟින් ඉදන් දුක සැප බෙදාගත්තු පවුලෙන් පිට එකෙක් කියන දේ අහන්න එපා... වගකීමෙන් කියන්නේ... උබ කොච්චර හොද උනත් උබට කවමදාකවත් උන්ගෙන් හොදක් අහන්න වෙන්නෑ... උබ කොච්චර දක්ෂ වුනත් උබට දක්ෂයි කියන්නේ නෑ... උබ උබටම කියලා කොන්දක් හදා ගනින් මම කියන්නේ ඔය හමට යටින් පිටේ තියෙන ඇට 33 ගැන නෙවේ... උබටම කියලා පෞර්ෂයක් හදාගනින්... කැමති නැති දේට කැමති නෑ කියලා කියපං... අනිත් වුන් මේක හොදයි, අරක හොදයි, මම මේක කරනවා... කියලා කිව්ව පමණින් උබත් අමු අමුවේ උන් පස්සේ නොයා උබ කැමති දේ කරහන්... උබට ඕන දේ... උබේ නිදහස උබ හරි විදියට පාවිච්චි කරහන්... උබට idol එකක් නොතිබ්බට කමක් නෑ... උබ අනිත් මිනිස්සුන්ට idol එකක් වෙයන්...

අපේ මිනිස්සු දන්නේ රැල්ල පස්සේ දුවන්න... වෙනසක් කරලා රැල්ල වෙනස් කරන්නෙ කීයෙන් කීයදෙනාද... පස්සෙන් දුවන්න උන් උබට ඕන තරම් හොයාගන්න පුලුවන්, උබ උබම වෙයන්... ගල් මුල් එයි... ඒක සාමාන්‍යයි... උබට ඕනේ තැනට පලයන්... අන්න එදාට උබේ නූලක් ඇදුනු කමිසෙට අළුත් කමිසයක් ගෙනත් දුන්න අණ්ඩ දාපු සරම ඇදපු තාත්තයි... උබ බඩගින්නේ කියලා මං කාලා ඉන්නේ, මම කන්න ආස නෑ කියලා උබටයි උබේ සහොදරයන්ටයි කන්න දීපු අම්මයි මතක ඇතුව උස්සලා තියපං... අන්න එතනදී උබ ඔරිජිනල් “පොරක්”...

-අභි_සරා

No comments:

Post a Comment

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...