මොකක්ද මේ බලාපොරොත්තුවක් කියන්නේ? මම මෙහෙම කියන්නම්... යම් හේතුවක් තියෙනවා නම්, ඔයාට අද ඇදෙන් නැගිටින්න, මුණ කට හෝදන්න, පිරිසිදු ඇදුමක් අදින්න, හිනාවෙන්න, ඇවිදින්න, සින්දුවක් අහන්න, විහිළුවක් කරන්න... අන්න ඒ හේතුවට අපි කියනවා බලාපොරොත්තුවක් කියලා...
අපිට පුංචි කාලේ ඉදන්ම බලාපොරොත්තු ගොඩාක් තියෙනවා... චූටිම චූටි එකෙක් ගෙන් ඇහුවම පුතේ/දෝණි ඔයා කවුරු වෙන්නද කැමති කියලා පොඩි එකා ආසාවෙන් කියනවා "දොස්තර" කෙනෙක් වෙන්න කියලා. අම්මලාටත් හරි සතුටුයි. ඒ නිසාම එයාලා දොස්තර සෙල්ලම කරන්න සෙල්ලම් බඩුත් අරන් දෙනවා... (පුංචිම කාලේ අපි හැමෝගෙම හීනේ තමයි දොස්තර කියන එක. ඒ නිසා උදාහරණේකට ගත්තා විනා අනෙක් රැකියාවන්ට මඩ ගැසීමේ කිසිදු අභිප්‍රායක් නැතිබව කරුණාවෙන් සලකන්න.)
මං ලඟත් පුංචි කාලේ තිබ්බා දොස්තර නාලාවකුයි තව ඔය අනං මනං බඩු ගොඩක්... ගොඩක් ඒවා කොහෙට තියලා බලනවද කියලාවත් දන්නේ නෑ... හැබැයි අපරාදේ කියන්න බෑ ඒ හැම එකකින්ම මොකක් හරි වැඩක් ගත්තා... හොද වෙලාවට බෝනික්කට පණ නෑ... නැත්නං ඒකා තමයි මුලින්ම ගෙදරින් එලියට බහින්නේ...
හැබැයි අපි වයසෙන් වැඩෙද්දී මේ හීනෙට මොකද වෙන්නේ? ඔයාල කියයි වෙනස් වෙනවා කියලා... ඒත් මම කියනවා... ඒක වෙනස් වෙන්නේ නෑ... හැබැයි ඒක "ඔප මට්ටම්" වෙනවා... ඔයාල අහයි එහෙම වෙන්නේ කොහොමද කියලා, ඇයි හත්දෙයියනේ ඉස්සර දොස්තර වෙන්න හිටිය මම දැන් වෙන කෙනෙක්... ඉතින් වෙනස් වෙලා නැද්ද?
අපිට "වෙනස්" වෙලා කියන වචනේ පාවිච්චි කරන්න වෙන්නේ ඔයාලා හැම අතින්ම වෙනස් වුනා නම් විතරයි. මෙහෙම හිතන්න... ඔයාලට ඕනේ වුනේ දොස්තර කෙනෙක් වෙන්න, වෙන්න ඇති... ඒත් ඔයාලා සමහර විට ඉංජිනේරුවෙක් හෝ වේවා, බැංකුවක වැඩ කරන කෙනෙක් හෝ වේවා කවුරුන් හෝ වේවා... ඔයාලා ඔතනට එන්න ඔයාලට බලාපොරොත්තුවක් තිබ්බා... පුංචි කාලේ අම්මලා සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ගෙනත් දෙන එක හරිම සාමාන්‍ය දෙයක්... එයාල හැම දේම දෙනවා... චිත්‍ර අදින්න ඕනේ නම් කොළ, පාට, බෝනික්කෝ, කොල්ලන්ට නම් කාර්, හැම දේම... නිකන් වත් හිතුවද එයාල තමා ඔයාලගේ ජීවිතේට බලාපොරොත්තු කියන දේට පණ දුන්නේ කියලා...
ඔයාලා අහයි... ඒ කොහොමද?... පුංචි කාලේ අම්මලට ඕනේ එයාලගේ දරුවෝ එයාලට වැඩිය එක පඩියක් හරි උඩට නගින්න... ඒ නිසා එයාලා හැම දේම දෙන්නේ කවදාහරි මගේ එකා රටේ නම තියයි, අපේ නම තියයි, කියන බලාපොරොත්තුවෙන්... ඒ බලාපොරොත්තුවම ඔයාලගේ බලාපොරොත්තු වලට පණ දෙනවා...
මම කිව්වා දොස්තර කෙනෙක් වෙන එක පුංචිම කාලේ අපි හැමෝගෙම හීනේ... මගෙත් එහෙමයි... මම දැන් ඔයාලට අපේ භාෂාවෙන් "තවුසන්ඩ් ටෝක්" දුන්නට මම ශිෂ්‍යත්වේ ෆේල්... ලකුණු 104... මට අද වගේ මතකයි තාත්තා ලකුණු ලියපු කොලේ මේසේ උඩින් තිබ්බම මම ඒක ඉරලා විසි කරපු හැටි... හැබැයි එකෙන් මගේ ලකුණු වල නම් වෙනසක් වුනේ නෑ... ඒත් ඇස්වහක් කට වහක් නෑ මගේ අයියලා නං පුදුම "බ්‍රයිටෝ"... උඩින්ම පාස් "කොළඹ ලොකු ඉස්කෝලේ" යන්න පාස්...
O/L කියලත් ලොකු වෙනසක් නෑ... යන්තන් ගොඩ ගියා... තාත්තා මට කිසිම දෙයක් කියලා බැන්නේ නෑ... අම්මත් එහෙමයි... කවදාවත්ම... හැබැයි තාත්තා අම්මා එක්ක තාත්තාගේ යාලුවන්ගේ, මගේ වයසේ ළමයි A අච්චරයි මෙච්චරයි කියද්දී නම් ඇත්තටම ගොඩක් අවුල් ගියා... හැබැයි ඒ ඊරිසියාව නිසා නෙවේ... ලැජ්ජාව නිසා... ඒ මිනිස්සු එයාලගේ දරුවන්ගේ ලකුණු කියලා මගේ ලකුණු අහද්දී තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද? අයියලා හැම විභාගයක්ම හොදටම ගොඩ දාද්දි මං ගැන කියන්න තාත්තට ලජ්ජා හිතෙන්නත් ඇති... මම හොදට වැඩ කලා නම් තාත්තට මගේ ලකුණුත් ආඩම්බරෙන් කියන්න තිබ්බ නේද කියලා හිතුනු වාර ගාන අනන්තයි අප්‍රමාණයි... හැබැයි මගේ තාත්තා කවදාවත්ම එයාලා එක්ක මාව සංසන්දනය කරන්න ගියේ නෑ... අම්මත් එහෙමයි... ඒක මට මගේ පවුලෙන් ලැබුණු ලොකුම සහ හොදම ආභාෂයක් කියන්න පුළුවන්...
ඒ කාලේ මගේ වීරයා තමයි චූටි අයියා... 'අනේ එයා වගේ වෙන්න ඇත්නම්' කියලා මට ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් හිතිලා ඇති. එකක් තමයි එයා හොද පෙනුමයි, දක්ෂයි... ඒ නිසා හැමෝම ආදරෙයි. අපරාදේ කියන්න බෑ මට ඉස්සර ඔය දෙකෙන් එකක් වත් නෑ... ඒ නිසා අයියා වගේ අනෙක් අයගේ ආදරේ ලබන්න... එයා වගේ වෙන්න ලොකු ඕනේ කමක් තිබ්බා... රූපෙන් එයා වගේ වෙන්න බෑනේ ඒ නිසා මම ඔක්කොම සිද්දි පේළියට තියලා මගේම කියලා දෙයක් නිර්මාණය කරගන්න තීරණය කළා...
ඒ වගේම මටත් ලොකු ආසාවක් ආවා... අයියලා තරම් "බ්‍රයිටෙක්" වෙන්න බැරි වුනත් මම පොඩ්ඩක් හරි වැඩ කරනවා කියලා... දන්නවද මම ශිෂ්‍යත්වේ ෆේල් වෙන්න ඇති, ඕලෙවල් නා ගන්න ඇති ඒත් අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ විශේෂවේදී උපාධිය හදාරන ශිෂ්‍යයෙක්...
ඒ විතරක් නෙවේ ඉස්කෝලේ කාලෙදී "ඔයා අනිවාර්යයෙන් ෆේල් වෙනවා" කියලා අන්තිම වාර විභාගේ ප්‍රශ්ණ පත්‍රය විසිකරපු ගුරුවරිය උගන්වපු විෂයම, විශේෂ වේදයට ඉගෙනගැනීමට වරම් ලැබුවෙක්මි...
ඒ නිසා අපේ බලාපොරොත්තු වෙනස් වෙන්නේ නෑ... කාලයත් එක්ක ඒවා ඔපමට්ටම් වෙනවා... මොකද අපි දන්නේ නෑ අපේ ජීවිතේ අපිව කොහාට අරන් යනවද කියලා... මොකද ඔයාල මෙච්චර කල් ආපු මග ඔයාලා දැනගෙන ආවා නෙවෙයි... අන්න ඒ වාගේම ලොකු ගමනක් ඔයාට තව ඉතුරු වෙලත් තියෙනවා... ඒ යන අතරේදී ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි... මොකද හොදට හැදුනු අඹ වලට තමයි කට්ටිය ගල් ගහන්නේ...
ඇරත් සතුටු වෙන්න ඔයාට ගල් මුල් එනවනං... මොකද ඒ කියන්නේ අනිත් අයට ලං වෙන්න බැරි තැනකට ඔයා ඇවිත්...
business man කියන තෙලුගු චිත්‍රපටයේ එක තැනක මෙහෙම කියනවා... "ඔයාට සැතපුම් 10ක් යන්න ඕනේ නම් සැතපුම් 11ක් ඉලක්ක කරන්න"
ඔයාව ජීවිතේ කොහාට අරන් ගියත් කමක් නෑ... ඔයා ඔයාට ඉලක්කයක් තියාගන්න... බලාපොරොත්තුවක් තියාගන්න... අන්න ඒ බලාපොරොත්තුව ඔයාව ඔයා හිතන්නෙවත් නැති තැනකට අරන් යයි...
- අභි_සරා
No comments:
Post a Comment