ආදරයේ උල්පත වූ අම්මා...
මා ඔබගේ පුතූ...
උබ මතු බුදු වන දවසේ...
මා රාහුල කුමරුන් සේ...
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි...
සුලැගිල්ලේ එල්ලී...
අහලා පුරුදුද... නෑ වගේ නන් කමක් නෑ... මේ ටිකත්
කියෝලම සිංදුව අහන්න.
අම්මා කියන්නේ අපට ජීවිතේ හරිම ලඟ, හරීම කිට්ටු,
හරිම උණුහුම් වචනයක්... දරුවෙකුට ආදරේ, දයාව, කරුණාව, සෙනෙහස කියන්නේ මොකක්ද කියලා
පෙන්වන ප්‍රතිමූර්තිය තමයි අම්මා කියලා කියන්නේ... අපි සාමාන්‍යයෙන් කතා කරන්න ආස
මාතෘකා තියනවා ආදරේ කියන්නේ ඒ අතරින් අපි ආසම කරන මාතෘකාවක්... ඒ වගේම තමයි අම්මා
කියන්නේ ලියන්න, කියන්න තියෙන ලස්සනම ලස්සන මාතෘකාවක්... ඒ වචනෙත් හරි හැඩයි... අපට
කිට්ටුයි...
අපි ඉපදුනු දවසේ ඉදලා අපට මහ ගොඩක් දේවල් කියලා
දෙන්නේ අපේ අම්මා... සරලවම උබට කිව්වොත් අපේ පළවෙනි ඉස්කෝලේ අම්මා... ඌරා වගේ හැමතැනම
ගාගෙන කනකොට තමාගේ කෑම එක පැත්තකින් තියලා ඔක්කොම පිහලා “ඔහොම කන්නෙපා... මෙහෙම
කන්න...” කියලා හරියට කන්න උගන්වනවා... කොල්ලෙක්ට නන් කියනවා අඩුයි “හරියට ඉදගන්න”
කියලා... කෙල්ලෝ නන් අම්මාගෙන් මේ කතාව සෑහෙන්න අහගෙන ඇති... කොහේ හරි ගිහින් තැන
අමතක වෙලා කකුල් උඩට ගත්තම අනික් මිනිස්සුන්ට නොපෙනෙන්න රවලා බලලා, කේන්තියෙන්
දත්මිටි කාගෙන “කකුල් දෙක දාගන්නවා පහලට” කියලා හොරෙන් කියනවා... අපිත් ක්ෂණිකව
දාගන්නවා... එතන ඉදන් උබ ජීවිතේ අද කොතැනකම හරි තැනක ලස්සනට ජීවත් වෙනවා නන් උබ මුලින්ම
කරන්න ඕනේ උබගේ අම්මට වදින එක... මොකද උබ අද ඔතන ඔහොම ඉන්නේ ඒ මනුස්සයා උබව ඔය
විදියට හදපු නිසා...
අපි ජීවිතේ අනන්තවත් වැටෙනවා... කොච්චර වැටෙනවද කිව්වොත්
සමහර වෙලාවට අපට අපේ ජීවිතේ එපා වෙන තරමට අපි වැටෙන අවස්ථා නැතුව නොවේ... එතකොට අම්මා
කියලා කියන්නේ උබට පිටිපස්සෙන් ඉන්න මහ විසාල හෙවනැල්ලක්... උබට හිරුගේ එලියෙන්වත්
කරදරයක් වෙන්නේ නැති වෙන්න ඔයාලගේ වටේ ඉදන් ඔයාලව රකින මහවිසාල ජීවයක් ඒක... උබ
වැටෙන වාරයක් ගානේ උබව උස්සලා තියන, උබට වැටෙන්නේ නැතිව ඒ ගමන යන්න පාර හදා දෙන...
ඒ හදපු පාරේ ඉන්න සත්තුන්ගෙන් බේරිලා ජීවිතේ ගෙනියන්න ඕනේ විදිය උබට උගන්වන බුද්ධිගෝචර
ගුරුවරයෙක් ඔය...
මට අම්මා කියන්නේ මගේ ජීවිතේ කියාගන්න බැරි තරම්
මහා විසාල චරිතයක්... වලි යන අවස්ථාද නැතුවම නොවේ... හැබැයි අම්මා ආයේ මොකුත්
කියන්න කලින් ගිහින් හතරවටේට ඉඹලා කරලා යාළු කර ගන්නේ අම්මා තරහයි කියන වචනෙටවත්
ආස නැති නිසා...
හොදට හිතලා ගන්න ගොන් තීරණයක්, සභාව මැද්දේ
කිව්වම දරුවගේ මැටිකම අනික් වුන්ට පේන්නේ නැති වෙන්න කතාව වහලා පස්සේ අපට ටොක්කක් ඇනලා
කිව්ව කතාවේ ගොන් කම තේරුම් කරනවා... අසනීප වෙලා “පාන්” කියාගන්න බැරුව ඉන්නකොට මහ
පාන්දර තනිපංගලමේ ඕනේ දුරක් දරුවා වෙනුවෙන් එනවා... “අම්මේ කන්න බැරිවුනා...”
කියලා දවස් දෙකක් කිව්වම ඊළඟ සතියේ ගෙදර ගිහින් එනකොට බර කරත්ත අදින් ගොන්නු දෙතුන්
දෙනෙක්ට උස්සන් එන්න පුලුවන් විදියේ කෑම පුරෝපු බෑග් එකක් ගෙදරින් එලියට බහින්න හදන
කොට දෝත් මුදුන් දීලා පිටේ එල්ලනවා... “අරන් ගිහින් කාපන්” කියලා වචනෙන් නොකියා...
ඉතින් අරක අරන් වචනෙන් නොකී බර හරකා වෙලා පාරට යන්න හදනකොට තවත් මොනවා හරිත් ගෙනැල්ලා
අර බෑග් එකේ ඇගිල්ල ගහන්න තිබ්බ අන්තිම හිලටත් ඔබනවා...
අම්මා කියන කෙනාගේ උගත්කම කියන එක සතපහකට වැඩකට
ඇති දෙයක් නෙවේ... මම එහෙම කිව්වේ, උබට කවදාවත් කොහොම ඉගෙන ගත්තත් උබේ අම්මගේ
බුද්ධියට ලං වෙන්න බෑ... දන්නවද ඇයි කියලා... මොකද උබ ඩිග්‍රි ගහයි, හැබැයි උබ හොදට
හිතලා විය හැකියාව නොහැකියාව එක්ක දන්න ගණන් මේ ලෝකේ පෙරලලා හදලා දෙයක් මෙහෙම කලොත්
හරි කියලා; අම්මා එපා කියපු දෙයක් කලොත්, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පුතේ... උබ ඔය
කෙලෝ ගන්නයි යන්නේ... උබලම හිතලා බලපං නැද්ද කියලා... උබලටත් ඕම හිසේ කෙස් ගානට
වෙලා ඇති...
මම මගේ අම්මට ගොඩක්ම ගරු කරන්න ප්‍රධානම හේතුව
තමයි අනිත් අම්මලා එක්ක රැල්ලට නොගිහින් මාව හදපු එක... කොල්ලෝ එක්ක හැදෙන කෙල්ලගේ
කොලු කම වැඩියි කියලා ඔයාලා අහලා ඇති... අපරාදේ කියන්න බෑ අයියලා ගැන ඉස්කෝලෙන්
බැනුම් අහනවට වඩා එලෝකෝටියක බැනුම් අපේ අම්මා අපේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා
ඇති... අයියලා ගැන දවස ගානේ හැම සර් කෙනෙක්ම හොද කියන කොට, මම ඉස්කෝලේ ඇරිලා ආපු
ගමන් අම්මා මගෙන් අහන්නේ “අද ඉස්කෝලේ මොකද කලේ...” කියලා... ඒ අහන්නේ මම ඉගෙන ගත්තු
දේවල් කියලා මම හිතුවට ඒක අහපු විදිය එක්ක මට පස්සේ තමා තේරුනේ අහන්නේ ඉගෙන ගත්තුවට
වඩා අනික් කරපු ජඩ වැඩ ගැන කියලා... ඇත්තනේ අම්මා මූණ දෙන්න එපැයි ආයේ ඉස්කෝලෙට...
අම්මා කියන්නේ අපට ජීවිතේ හරි ගොඩක් දේවල් කියලා
දෙන කෙනෙක්... සමහර වෙලාවට කරන වැඩ එක්ක අපි ගැන සත පහක විස්වාසයක් තියන්න බැරිකොට
ඒක කරන්න පුළුවන් කියලා අම්මා තියන විස්වාසයම ඇති අපට ඒ දේ කරන්න... කාගේ
ආශිර්වාදය නැති වුනත් අම්මාගේ ආශිර්වාදය එක්ක අපට පනින්න බැරි පිම්මක් නෑ කියන එක
මගේ අදහසයි...
ඇත්තටම මට මේක මෙහෙම ලියන්න හිතුනේ, අම්මා අසනීප
වුනොත් හරි කොහේ හරි ගියොත් හරි මුළු ගේම පාලු මූසල තැනක් වෙන්න මහ වෙලාවක් යන්නේ
නැති නිසා... සමහර වෙලාවට ඔක්කොම බලාගන්න එක, එක පාරම වගකීම වුනොත් අපි වගේ යක්ෂ පැටව්
එක්ක අම්මා කොහොම හිටියද කියලා හිතෙනවා... ඒත් ඒ යක්ෂ පැටව් එක්ක හරිම ලස්සනට
ගලාගෙන යන්න ජීවත් වෙන්න ආස හිතෙන කතාවක් නිර්මාණය කරන්නේ අම්මා...
අපි කේක් එකක් නිකන් තියනවට වඩා ඒක ලස්සන කරලා පාට
පාට වලින් හැඩ කරලා තියනවනන් ආසයි... අම්මා කියන්නේ ඒ වගේ අපේ මෙලෝ රහක් නැති
ජීවිතේ පාට කරන ලස්සන ජීවිතයක්...
උබ තාම අම්මට කතා කලේ නැත්නන් ගනින් කෝල් එකක්...
කතා කරහන්... පිස්සෙක් වගේ ඔහේ කියෝ කියෝ හිටහන්... උබටම තේරෙයි “අම්මා” උබේ ජීවිතේ
උබට ජීවත් වෙන්නෙ කොච්චර ආසා කරවනවද කියලා... අම්මගේ ආදරේ කියන්නේ අන්න ඒක...
ඇත්තම කියන්න මට අම්මා ගැන ලියන්න තව ගොඩක් දේවල්
තියනවා... ඒත් මම මේක මෙතනින් නවත්තනවා.. හේතුව එකක් තමයි, මගේ අමු හෑලි උබලා
කොහොමත් කියවන්න ආස නෑ.. (ඇරත් දැනටත් හෙනම දිගයි බඩවැල වගේ)... අනික සමහර අම්මා
ගැන තියන හැඟීම් වචන කරන්න මටත් වචන නෑ... අම්මා කියන්නේ, අම්මගේ ගුණ කියන්නේ මට
එක පෝස්ට් එකකින් ලීයලා ඉවර කරන්න පුලුවන් දෙයක් වත්, උබලට විනාඩි කීපයකින් කියවලා
ඉවර කරන්න පුලුවන් දෙයක්වත් නෙවේ... ඒ නිසා හොදට මතක තියා ගනින් අම්මා කියන චරිතෙට
උබ කොච්චර සැලකුවත් මදි...